මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ත්‍රිවිධ හමුදා සහාය ගැනීමට කැබිනට් අනුමැතිය


(ඩයනා උදයංගනී)
 
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සක‍්‍රීය දායකත්වය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
 
 
ඒ අනුව ත‍්‍රිවිධ හමුදාව වෙත යම් නිශ්චිත කාලයක් සඳහා නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනතක් කෙටුම්පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
 
රට තුළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප‍්‍රමුඛව ශ්‍රී ලංකා පොලීසිය විශේෂ කාර්ය භාරයක් ඉටුකරන අතර අවශ්‍ය අවස්ථාවල පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ත‍්‍රිවිධ හමුදාවේ සහායද ඒ ස`දහා ලබාගැනෙන බව ඇමතිවරයා සඳහන් කළේය.
 
එම ජාවාරම සාර්ථකව මැඩ පැවැත්වීම සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සක‍්‍රීය දායකත්වය වැඩි වශයෙන් ලබාගැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බැවින් මෙම පියවර ගෙන ඇතැයි ද ඇමති ගයන්ත කරුණාතිලක මහතා කීවේය.
 
  ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ බව ද ඇමතිවරයා වැඩිදුරටත් කීවේය. 
 
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
 
මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ත‍්‍රිවිධ හමුදා සහය ලබාගැනීමෙන් පිලිපීනය ද සාර්ථක ප‍්‍රතිඵල ලබා ඇති බවයි.
 
මත් කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හට මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ සියලූ දෙනා ඒකමතිකව  අනුමැතිය ලබාදී ඇති නමුත් තමා ප‍්‍රතිපත්තියක් ලෙස එයට විරුද්ධ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
මෙම තීරණයට එකඟතාවය පළ කරමින් සියලූ දෙනා සතුටු වුවත් මෙවැනි තීරණ ක‍්‍රියාත්මක කිරීමෙන් ප‍්‍රතිඵලයක් ලබා ගත නොහැකි බව අනාවරණය වී ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.
 
මත්කුඩු ඡාවාරමේ නියැලී සිටින දැනට වැරදිකරුවන් වී බන්ධනාගාරවල සිටින හා නැවත නැවතත් එම ඡාවාරමට වැරදිකරුවන් වු පුද්ගලයින් 19 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති බව ජනාධිපතිවරයා පැවසු බවත් ඔවුන් මෙම නීතිය යටතේ එල්ලා මැරීමට තීන්දුවක් ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.
 
මෙම පියවර සාර්ථක වුවහොත් තවත් බරපතල වැරදි හේතුවෙන් මරණ දඬුවම නියම වී ඇති පිරිස් සඳහා ද මෙම දඬුවම ක‍්‍රියාත්මක වනු ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.