
(අමිල සම්පත් ශ්‍රී)
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේ ඇති වන සංරක්ෂණයට අයත් අක්කර 250ක් පමණ ඉඩම් දේශපාලන හිතවත්කම් මත හෙළි පෙහෙළි කර ව්‍යාපාරිකයන්ට විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් සොයාබැලීමට ගිය හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමනසේකර මහතා සහ හම්බන්තොට දිසා වන නිලධාරි රෝහන අමරතුංග මහතා අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
මත්තල ගුවන්තොටුපල ඉදි කිරීමත් සමග ඒ ආසන්නයේ ඇති වන සංරක්ෂණයට අයත් ඉඩම් අක්කර 250 ක් පමණ මේ වන විට හෙළි පෙහෙළි කොට ඉහළ මිල ගණන් යටතේ දුරබැහැර ප්‍රදේශවල ව්‍යාපාරිකයින්ට අලෙවි කර ඇති බවත් හිටපු ප්‍රාදේශීය ලේකම්වරයකු අක්කර 100 ක ට පමණ ව්‍යාජ බලපත්‍ර ලබාදී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
මේ වන විට අල්ලා ගත් සමහර ඉඩම් සංවර්ධනය කර තිබූ අතර එතෙක් වන සංරක්ෂණ නිලධාරීන් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම දිසාපතිවරයාගේ දැඩි විවේචනයට ලක්වී වීය.
වන සංරක්ෂණ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ දිසාපතිවරයා ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන බව එහිදී පවසා සිටියේය.
පහළ මත්තල වැව ආසන්නයේ වන සංරක්ෂණ ප්‍රදේශයට අයත් ඝන කැලෑ ඉඩම් අක්කර තිහක් පමණ දේශපාලනයට සම්බන්ධ කිසියම් පුද්ගලයකු විසින් හෙළි පෙහෙළි කොට ගිනි තබා තිබූ ආකාරය දිස්ත්‍රික් ලේකම්වරයාට සියැසින් දැක ගැනීමට හැකි වූ අතර ඉඩම් ජාවාරම පිළිබඳව කරුණු රැසක් අනාවරණය කර ගැනීමටත් හැකි ව තිබේ .
මෙම අවස්ථාවට පැමිණි හම්බන්තොට දිසා වන නිලධාරි රෝහන අමරතුංග මහතා ඇතුළු කණ්ඩායම දිසාපතිවරයාට කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ සමහර ඉඩම් සඳහා ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් විසින් බලපත්‍ර ලබා දීම හේතුවෙන ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි .
එම අවස්ථාවේ උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර වන සංරක්ෂණයට අයත් ඉඩම්වලට ප්‍රාදේශීය ලේකම්වරයාට බලපත්‍ර නිකුත් කිරීමට අයිතියක් නොමැති බවත් එසේ සිදුකර තිබුණේ නම් එම බලපත්‍ර බල රහිත කර උසාවියට කරුණු වාර්තා කර ඉඩම් අත්පත් කරගත් පුද්ගලයොන් උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු නොකළේ මන්ද යන්න පිළිබඳව දිසාපතිවරයා ප්‍රශ්න කර සිටියේය .එහිදී නිරුත්තර වූ වන සංරක්ෂණ නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටි පහල මත්තල ග්‍රාම නිලධාරී නිලධාරිවරිය බලපත්‍ර සකස් කිරීම සඳහා උදව් දී ඇති බවද චෝදනා කළේය .





