මත්තල ආදායම ලක්ෂ 12යි - වියදම ලක්ෂ 2500යි


ඩයනා උදයංගනී
 
මත්තල ගුවන් තොටුපොළේ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන අතර එහි නඩත්තු කටයුතු වෙනුවෙන් වියදම රුපියල් ලක්ෂ 2500 බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 

මත්තල වෙනුවෙන් රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් 800 ක් ගෙවා තිබෙන බව කී අමාත්‍යවරයා දැනට කටුනායක ගුවන්තොටුපොළේ ආදායමත් මත්තල නඩත්තු කිරීමට වැයවන බව සඳහන් කළේය.
 
කටුනායක ඉදිකිරීමට තිබූ දෙවන ගුවන්තොටුපොළ නිසි අධ්‍යනයකින් තොරව මත්තලට ගෙනයාම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව ද ඇමතිවරයා කීවේය.
 
මෙය රජය සතුව තිබියදී එහි පාලනය භාරදීමට ඇති හැකියාව පිළිබඳව ඉන්දියානු ගුවන්තොටුපොළ අධිකාරියත් සහ ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ අධිකාරිය අතර සාකච්ඡා පවත්වමින් සිටින බව ද අමාත්‍යවරයා කීවේය. තවම ඒ සම්බන්ධව අවසන් නිගමනයකට පැමිණ නැති බව කී අමාත්‍යවරයා අවසන් නිගමනයකට පැමිණි වහාම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර රටේ ජනතාව අතර විවෘතව සාකච්ඡා  කරන බව ද සඳහන් කළේය.
 
 දේශපාලනමය හෝ ආර්ථිකය ගැන දැනුමක් නොමැති අය කුමන දේ කීවත් ඉදිරි දෂක දෙක සඳහා එය ආර්ථික වශයෙන් ගොඩනගා ගැනීමට මෙරට ගුවන් සේවා අධිකාරියට හැකියාවක් නැති නිසා එවන් පියවරක් ගැනීමට සිදුවන බව ද අමාත්‍යවරයා කීවේය.