මත් වැරදි විමර්ශන තෙමසක් තුළ අවසන් කර උදෘත එවන්නැයි පොලිස්පතිට උපදෙස්


(මනෝප්‍රිය ගුණසේකර)
 

බරපතල ගණයේ අපරාධ හා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අපරාධවල විමර්ශන කටයුතු මාස 3ක් ඇතුළත අවසන් කර නීතීපතිවරයාට උධෘත එවීමට දිවයිනේ සියලු පොලිස්ථානවල ස්ථානාධිපතිවරුන්ට හා විශේෂ විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන්ට නියම කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.
 
බල අපරාධ වශයෙන් හඳුන්වනු ලබන බරපතල ඝනයේ අපරාධ හා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කාර්යක්‍ෂම නොවීම රටේ නීතීයේ ආධිපත්‍ය රැක ගැනීමට මහත් අවහිරයක් වී ඇති බවද නීතීපතිවරයා පොලිස්පතිවරයාගේ අවධානයට ලක් කර ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය සඳහන් කළාය.
 
බල අපරාධ වශයෙන් හඳුන්වනු ලබන බරපතල ඝනයේ අපරාධ හා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කාර්යක්‍ෂම නොවීම රටේ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය නිසි අන්දමින් ක්‍රියාත්මක නොවීමට මෙන්ම හේතූවක් බව පොලිස්පතිවරයාගේ අවධානයට ලක් කර සිටින නීතීපතිවරයා විමර්ශන කටයුතුවල ප්‍රමාදය හේතූවෙන් සාක්කිකරුවන්ට හා වින්දිතයින්ට යුක්තිය ඉෂ්ඨ නොවීමට මෙන්ම සාධාරණ නඩු විභාගයකට සැකකරුවන්ට ඇති අයිතිය උල්ලංඝනය වීමක් බවද පෙන්වා දී ඇත.
 
නඩු භාන්ඩයන් වශයෙන් ඉදිරිපත් කරන මත්ද්‍රව්‍ය හා නඩු භාන්ඩ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මාස 3 ක කාලයක් ඇතුළත වාර්තා ලබාදෙන බව රජයේ රස පරීක්‍ෂවරයා තමන්ට දැනුම් දී ඇති බව පොලිස්පතිවරයාට දැනුම් දෙන නීතීපතිවරයා පොලිස් විමර්ශන කටයුතු ප්‍රමාද වීමේ කරුණු සැළකිල්ලට ගෙන පොලිස් විමර්ශන කටයුතු අප්‍රමාදිව නිසියාකාරයෙන් සිදුකිරීමට වහාම පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.
 
විමර්ශන කටයුතු මාස 3 ක් ඇතුළත අවසන් කිරීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා විශේෂ විමර්ශන ඒකක බාර ස්ථානාධිපතිවරුන්ට වහාම උපදෙස් ලබා දෙන ලෙස අවධාරණය කර ඇති නීතීපතිවරයා විමර්ශන කටයුතු මාස 3 ක් ඇතුළත අවසන් කිරීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා විශේෂ විමර්ශන ඒකක බාර ස්ථානාධිපතිවරුන්ට නොහැකි වන අවස්ථාවන් වලදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට ඒ බව හේතු සහිතව ලිඛිතව කරුණු දැක්වීමට උපදෙස් ලබා දෙන ලෙසද වැඩිදුරටත් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.