මත් ද්‍රව්‍ය ගිලදමා පැමිණි බ්‍රසීල ජාතිකයෙක් අල්ලයි


(කටුනායක ටී.කේ.ජී.කපිල)

මත්ද්‍රව්‍ය තොගයක් උපත් පාලන කොපු තුළ බහා ගිල දමා පැමිණි 36 හැවිරිදි බ්‍රසීල ජාතිකයෙකු ඊයේ (16) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය .

මොහු බ්‍රසීලයේ සාඕ පාලෝ නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ , පසුව කටාර් ගුවන් සේවයේ Q.R.- 664 දරන ගුවන් යානයෙන් ඊයේ (16) දින උදෑසන 9.20 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

මෙම බ්‍රසීල ජාතිකයා මත්ද්‍රව්‍ය තොගයක් ගිල දමා පැමිණ සිටින බව අනාවරණය කර ගත් රේගු නිලධාරීන්, වහාම මේ පුද්ගලයා මීගමුව මහ රෝහල වෙත ඇතුලත් කර තිබේ .

එහිදී රෝහල් වෛද්‍යවරුන් සිදු කරන ලද X - කිරණ පරීක්ෂාවකදී මේ බැව් තහවුරු වීමෙන් අනතුරුව මේ පුද්ගලයාට විරේක බෙහෙත් ලබා දීම ආරම්භ කර තිබේ .

අද (17) උදෑසන වන විට මෙම බ්‍රසීල ජාතිකයා ගිල දමා තිබූ , මත්ද්‍රව්‍ය අඩංගු කරල් 45 ක් එළියට ගැනීමට රෝහල් වෛද්‍යවරුන් සමත් වී තිබුණි .

 තවදුරටත් මෙම පුද්ගලයාගේ ආමාශයේ මෙම මත්ද්‍රව්‍ය කරල් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා විරේක බෙහෙත් ලබා දීම දිගටම සිදු කෙරෙමින් පවතී . එහෙත් මොහු ආහාර ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම කරල් එළියට ගැනීමට ප්‍රමාද වී තිබේ .

එමෙන්ම මෙම බ්‍රසීල ජාතිකයාට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකි වීම ද ඉදිරි රේගු පරීක්ෂණ වලට බාධාවක් වුවද රේගු නිලධාරීන් භාෂා පරිවර්තකයින් යොදවා ගනිමින් ඉදිරි පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කර තිබේ .

 
(කටුනායක ටී.කේ.ජී.කපිල)