මඩාටුගම විදුහල්පතිනියගේ වැඩ තහනම්


තරිදු ජයවර්ධන
 
කුසගින්නේ සිටි දැරියකට වමනය යෑමෙන් පසු ඇය ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයෙන් පසු එම  පාසලේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
 
විදුහල්පතිනියගේ වැඩ තහනම් කිරීම සම්බන්ධ  තීරණය උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය ලිඛිතව දැනුම් දුන් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. විදුහල්පතිනියට චෝදනා පත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව ද එම ප්‍රකාශකයා කීවේය.
 
මෙම දැරියට පළාත් පාසලක් ලබා දීමේ ගැටළුවක් ඇත්නම් ජාතික පාසලක් ලබා දීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
 
ඇගේ ආර්ථික අපහසුකම් නිසා පාසල් යෑමේ ගැටළුවක් ඇත්නම් නේවාසිකාගාර සහිත පාසලක් ලබා දෙන ලෙස ද අධ්‍යාපන ඇමැතිවරයා දන්වා ඇතැයි අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කීවේය.