මඩාටුගම විදුහල්පතිනිය ගැන විනය ක්‍රියාමාර්ග ගන්නයි ඉල්ලීමක්


(විනීතා එම්. ගමගේ)

පාසලේ දී වමනය ගිය සිසුවියක් ගැබිණියකැයි පවසා පාසැලෙන් එළවා දැමු බව කියන විදුහල්පතිනිය පිලිබඳ පරික්ෂණයක් කර විනය ක්‍රියා මාර්ගවලට එළැඹෙන්නැයි ලංකා ගුරු සංගමය උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 
මෙම විදුහල්පතිනිය අහිංසක සිසුවියක් සමාජය ඉදිරියේ ගර්භාවට ලක්කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින් විනය පියවර ගත යුතු බවත් එම ලංකා ගුරු සංගමය සිය ලිපියෙන් අවධාරණය කරයි. 
ලක්ෂ 43 ක් වන ශ්‍රී ලංකාවේ පාසැල් දරුවන් අතරින් එක් දරුවෙක්වත් මෙවැනි අපහසුතාවයකට පත්විය යුතු නැති බවද මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසිය. 
නවයොවුන් වියේ දැරියන් සම්බන්ධව කටයුතු කරද්දී බාලිකා පාසල්වල විදුහල්පතිනියන් ඉතා සැළකිල්ලෙන් කටයුතු කළ යුතු යැයි කී ඒ මහතා මෙවැනි සිද්ධීන් සිසු ජීවිතවලට දැඩි සේ බලපාන බව ද කීවේය.
වාර්තා නොවන නමුත් මෙවැනි දේ පාසල් පද්ධතිය තුළ සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.