මටත් මාස දෙකක් කිසිම ආරක්ෂාවක් තිබුණේ නෑ - චන්ද්‍රිකා


තමා විශ්‍රාම ගොස් මාස 15කට පසු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව තම ආරක්ෂාව සිටි සියලුම ආරක්ෂකයන් සහ වාහන ඉවත් කළ බවත්, තමා කිසිදු ආරක්ෂාවක් නැතිව මාස දෙකක කාලයක් සිටි බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියන්නීය.

කුමාරතුංග මහත්මිය ඒ බව කියනුයේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන කාරනා ගැන නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

‘‘ගරු මහින්ද රාජපක්ෂට අදාල ආරක්ෂකයන් අඩු කිරීම ගැන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කළබලය ගැන මම බලා සිටියෙමි.

ගරු රාජපක්ෂ  විසින් තවත් හිටපු ජනාධිපතිධූරයකට ආරක්ෂාව ලබා දුන් ආකාරය මතක් කර දීමට මෙය අවස්ථාවකි.

2005 නොවැම්බරයේදී මා විශ්‍රාම යද්දී ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊය අතර සිවිල් යුද්ධය පැවතෙමින් තිබිණ.  ජනාධිපතිධූරයේ සිටියදී උත්සාහ කළා කළා සේම චන්ද්‍රිකා විශ්‍රාම ගියද ඇයව ඝාතනය කිරීමට උත්සාහ කරන බව එල්ටීටීඊය විසින් කිහිප වතාවක්ම පවසා තිබිණ. ඊට හේතු ලෙස ඔවුන් කියා සිටියේ එල්ටීටීඊයේ හදවත බඳුව තිබූ යාපනය චන්ද්‍රිකාගේ ආණ්ඩුව විසින් ලබා ගැනීමත් ඔවුන් කිලිනොච්චි මුලතිව් කුඩා ප්‍රදේශයකට සීමා වීමත් ය.

මා විශ්‍රාම යෑමෙන් පසු මගේ ආරක්ෂක තත්ත්වය ගැන ආරක්ෂක කවුන්සිලයේ විශේෂ කමිටුවක් අධ්‍යයනය කිරීමෙන් පසුව රජයට යෝජනා කර සිටියේ මට ආරක්ෂක භටයන් 300 සහ ඊට අදාල වාහන සහ අවි ආයුධ ලබා දිය යුතු බවයි. රාජ්‍ය වියදම් උපරිමයෙන් කපා දමා භාවිතා කිරීමේ මගේ සාමාන්‍ය ප්‍රතිපත්තිය අනුව ආරක්ෂක කවුන්සිලයේ යෝජනාව පසෙක ලූ මම ආරක්ෂක භටයින් 150 ක් සහ ආරක්ෂකයන්ගේ වාහන ද ඇතුළුව වාහන 10 ක් පමණක් ලබා ගැනීමට එකඟ වුනෙමි. 

මගේ විශ්‍රාම යෑමෙන් මාස 15 කට පසු 2007 සැප්තැම්බර් මාසයේ දී එවකට රටේ ආරක්ෂාව පිළිබඳ පුර්ණ වගකීම් දැරූ ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සොයුරා ගෝඨාභය රාජපක්ෂ විසින් මගේ ආරක්ෂාවට සිටි භටයන් සියලුම දෙනා සහ සියළුම වාහන එක්වරම මගෙන් ඉවත් කිරීමට අදාල බලධාරීන්ට උපදෙස් දුන්හ. මම කිසිදු ආරක්ෂාවක් නොමැතිව මාස දෙකක් ගත කළෙමි.

එවකට ශ්‍රීලනිපයේ සියළු මන්ත්‍රීවරු චන්ද්‍රිකා බණ්ඩාරනායක ගැන කතා කිරීමෙන් වැලකී සැඟවී සිටියහ. පසුව විදේශ රටවල් කිහිපයක සහ එක්සත් ජාතික පක්ෂයේ සුළු මන්ත්‍රීවරුන් පිරිසක් මාගේ ආරක්ෂාව අහිමි කිරීමට එරෙහිව විරෝධය පෑමේ ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉතා කුඩා ප්‍රමාණයේ එනම් 40 දෙනෙකුගෙන් යුත් ආරක්ෂක භට පිරිසක් සහ ඉතාමත් අබලන් වූ වාහන 5 ක් පමණක් මගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දුන්නේ ය. එදා සිට අද දක්වාම මාගේ ආරක්ෂක තත්ත්වය වූයේ එයයි. 

සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව බලයට ඒමෙන් පසුව මට ආරක්ෂාව වැඩි කර ගැනීමට අවශ්‍ය නම් දැනුම් දෙන්නැයි මගෙන් ඉල්ලා සිටියේ ය. ඉන්පසුව මගේ ආරක්ෂාව වැඩි කරන ලද්දේ ආරක්ෂක භටයන් 8 දෙනෙකුගෙන් පමණි. 

දැන් රටේ යුද්ධයක් නැත. ආරක්ෂක තත්ත්වය ද ස්ථාවර ය. එබැවින් හිටපු ජනාධිපතිනියක් වන මට වඩා හිටපු ජනාධිපතිවරයෙක් වන මහින්ද රාජපක්ෂට වැඩි ආරක්ෂාවක් සහ වරප්‍රසාද අවශ්‍ය යැයි තර්ක කිරීමට පුළුවන්දැයි මට නම් නොතේරේ.   

ලංකාවේ අනෙක් පුරවැසියන්ට වඩා තමාගේ පවුලට වැඩි වරප්‍රසාද තිබිය යුතුය, රට තමාට ණය ගැති විය යුතුය, යන මහින්ද රාජපක්ෂගේ සාමාන්‍ය හැසිරීම මෙහිදී ද ප්‍රදර්ශනය වීම ගැන මට පුදුමයක් නැත.‘‘