(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමාගේ ලොකු දුවගේ ගෙදර රත්රන් අශ්වයන් සිටියා යැයි කියන කතාව බොරුවක් බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය.
ඔහු මෙසේ පැවසූවේ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද ප්‍රකාශ කළේය.
මගේ ලොකු දුවගේ ගෙදර හොරු කැඩුවා. ඒ ගෙදර තිබුණු කිරි පැකට් වගේ කන බොන දේවල් ටිකක් ගෙනිහිල්ලා තිබුණා. රත්රන් අශ්වයෝ ඒ ගෙදර මොකුත් තිබුණේ නැහැ. මම කටාර් රාජ්‍යයට ගිය වෙලාවේ රාජ්‍ය නායකයෙකුට දින තෑග්ග හම්බවුණා. ඒක මම පොළොන්නරුවේ කෞතුකාගාරයේ තියලා තියෙනවා. මම ඒ කෞතුකාගාරය හැදුවේ කෝටි සීයක් වැය කරලා. කිසිම ජනාධිපතිවරයෙකු මේ රටේ කෞතුකාගාරයක් හදල නැහැ. කොළඹ කෞතුකාගාරය හැදුවේ සුද්දෝ. නමුත් මම කෝටි සීයක් වැය කරලා තට්ටු හතරක විශාල ගොඩනැගිල්ලක් හැදුවා.
දුවගේ ගෙදර හොරුකඩපු එක එක්තරා මාධ්‍ය ආයතනයක පත්තර කියවන කෙනෙකු ඉතාම අශීලාචාර ලෙස තමයි කිව්වේ . රාජ්‍ය නායකයෙකුට තෑග්ගක් දුන්නම ඒක දුවගේ ගෙදර තියෙනකොට හරිද කියලා ඇහුවා. කටාර් සංචාරයේදී ඒ රටේ නායකයා මගේ ආරක්ෂාවට ගිය අයටත් ලක්ෂ දහයක් විතර වටිනා ඔරලෝසු දුන්න. මට නිල වශයෙන් දෙන එකක් දුන්නේ. මම ජනාධිපති කාලෙ මට හම්බවෙච්ච සියලුම තෑගි ඒ කෞතුකාගාරයේ තියෙනවා. ඔක්කොම තියෙන කාමරයක් තියෙනවා. මීට කලින් හිටපු ජනාධිපතිවරු ඒ තෑගි වලට කළේ මොනවද කියලා මම දන්නේ නැහැ.

