කලා ලෝකයේ එකම විදිහේ සුන්දර ආරංචි දෙකක් ගැන කියන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ. ඒ තමයි යොවුන් පරපුරේ ජනප‍්‍රියම නළුවකු වන විශ්ව කොඩිකාර හාපුරා කියලා තාත්තා කෙනෙකු වීමත්, යොවුන් පරපුරේ ජනප‍්‍රියම නිළියක වන ආදරණීය ‘ ඕලූ’ එහෙමත් නැත්නම් මංජුලා කුමාරි හාපුරා කියලා අම්මා කෙනෙකු වීමත් ගැනයි.
මංජුලා ඉස්සර වෙලාම කියන්න... ඔයා අම්මා කෙනෙක් වුණ දවස. එහෙමත් නැත්නම් ඔයාගේ පුතා ඉපදුන දවස...?
”මගේ පුතා ඉපදුනේ ජූලි මාසේ පළවෙනිදා. ඒ තමයි මගේ ජීවිතය වැඩියෙන්ම වාසනාවන්ත දවස.”
මොකක්ද පුතාට දාපු නම?
”තාම නමක් දැම්මේ නෑ. තව ටික දවසකින් එයාගේ වෙලාව එහෙම බලලා, ගැලපෙන සුබ අකුරකින් නම දානවා. එතකම් එයා මගේ රත්තරං පුතා තමයි.....”
සමහරු නම් දරුවෝ ඉපදෙන්න කලින් ඉඳලාම දාන නම් හදාගෙනයි ඉන්නේ. ඔයා එහෙම දේවල් කරගත්තේ නැද්ද?
”එහෙම බෑනේ. එයා උපන් නැකතට අනුව.... එයාට සුදුසු අක්‍ෂරයකින්නේ නමක් දාන්න ඕනේ.”
ඔයාලා විවාහ වුණේ මොන අවුරුද්දෙද?
”2008 අවුරුද්දේ”
අම්මා කෙනෙක් වෙන්න තරමක් කල් ගියා වගේ නේද?
”හැම දේකටම හොඳම කාලය එන්න ඕනෑනේ. ඒ කාලය පුරා අපි අපේ ජීවිතයේ බොහෝ දේවල් ගොඩනගා ගත්තා. ඉටුකර ගත්තා. ඒ වගේම ජීවිතය සුන්දරව විඳගත්තා. ගිය අවුරුද්දේ ඉඳලා තමයි දරුවෙක් ගැන උනන්දු වෙන්න ගත්තේ.”
පුතාගේ වැඩ කටයුතු තනියෙන් කරගන්න දැන් මංජුලාට පුළුවන්ද?
”ඒ දේවල් නුහුරු දේවල් උනත්, ඒ නුහුරු හැම දෙයක්ම හිතට සතුටක් එක්කරන දේවල් නිසාද කොහෙද, මේ දවස් ටිකට මට ඒ හැම දෙයක්ම පුරුදු වෙන්න පුළුවන් වුණා. ඒත් පුතාගේ වැඩවලට මට උදවු කරන්න මගේ අම්මායි, ආච්චි අම්මයි දෙන්නම මගෙ ළඟ ඉන්නවා.”
පුතාගේ ඒ වැඩ වලින් තාමත් මංජුලාට නුහුරුයි කියලා දැනෙන්නේ මොනවද?
”ම්... එහෙම බැලූවොත් පුතාව නාවගන්න එක කමයි නුහුරු. ඒක නුහුරු කමක්මත් නෙමෙයි. හිතට බයයි වගේ හැඟීමක්.”
කොහොමද පුතාගේ වැඩට සැමියාගෙන් ලැබෙන සහාය?
”අනේ එයත් පුළුවන් හැම උදව්වක්ම කරනවා. රෑට නැගිටලා දඟලන්න ගත්තහම අපි දෙන්නම තමයි එකතුවෙලා නලවා ගන්නේ. ඒ නිසා අපි දෙන්නටම දැන් රෑට නින්දක් නෑ. ඒත් මේ දේවල් අපි ආසාවෙන් කරන්නේ.”
එහෙනම් පුතා අඬන වෙලාවට මංජුලා ගේ දරුනැලවිලි ගීත එහෙමත්, ඔයාලගේ ගෙවල් පැත්තෙන් දැන් ඇහෙනවා ඇතිනේද?
”ඔව්... ඔව්... ඒවටත් මම පුරුදු වෙලාමයි හිටියේ.”
හොඳයි එහෙනම් කියන්නකෝ ඔයා පුතාව නලවන්න මේ දවස්වල වැඩිපුරම කියන නැලවිලි ගීතය මොකක්ද කියලා?
(සිනාසෙමින්) ”වැඩිපුරම කියවන්නේ දොයි... දොයි... දොයි.. දොයිය බබා කියලා තමයි.”
අලූත් අම්මා මංජුලාගෙන් පස්සේ අපි කතා බහට එකතු කරගත්්තේ අලූත් තාත්තා විශ්ව කොඩිකාරවයි.
විශ්ව, ඔයා තාත්තා කෙනෙක් වුණා කියන ආරංචිය ඔයාට ලැබුණ වෙලාවේ හිතට දැනුන දේ මොකක්ද?
”ඇත්තටම මම තාත්තා කෙනෙක් වුණා කියන රත්තරන් ආරංචිය මට ලැබුණා නෙමෙයි. මම ඒ වාසනාවන්ත මොහොත මගේ ඇස් දෙකින්ම දැක්කා. ඒක මම ලබපු වෙනස්ම අත්දැකීමක්. හැබැයි ඒ වෙලාවේ දුවගේ මූණ ඉස්සරවෙලාම දකිද්දී මගේ හිතට විතරක් නෙමෙයි මුළු ඇඟටම ඒ සතුට දැනුනා වගෙයි. ඒක වෙන්න මේ වගේ කියලා මට වචන වලින් කියාගන්න බෑ. එදා ඒ මොහොතේ මුළු ඇඟටම දැනුන ඒ සතුට තාමත් එහෙම්මමයි. ඒ සතුට ඇතුළේ දැන් මමත් තාත්තා කෙනෙක්නේ කියන ආඩම්බරකාරී හැඟීමකුත් තියෙනවා.”
ඒ වාසනාවන්ත දවස කවදද උදාවුණේ?
”ජූනි මාසේ 30 වෙනිදා”
විවාහවෙලා අවුරුදු කීයකට පස්සේද?
”එරන්දියි මමයි බැන්දේ 2013 දෙසැම්බර් මාසෙනේ. එතන ඉඳලා අවුරුදු දෙකක්ම අපි දෙන්නා අපේ විවාහ ජීවිතේ සතුට විඳගත්තා. ඉන් පස්සේ තමයි දරුවෙක් ගැන හිතුවේ.
ඔයාලා දෙන්නගෙම බලාපොරොත්තුව වුණෙ දුවෙක්ද?
”අපි දෙන්නගේ විතරක් නෙමෙයි. අපේ පවුල්වල අයගේ බලාපොරොත්තුව වෙලා තිබුණෙත් දුවෙක්ම තමයි. අපි ඒ ගැන කලින්ම දැනගත්න උනන්දු වුණෙත් නෑ. හැමෝම හිතපු විදිහට අපිට දුවෙක්ම ලැබුණා. දුව ලැබෙන්න ඉන්න කාලේ එරන්දි ගොඩක් ලස්සන වුණා. ඒ නිසා හැමෝම කිව්වා ලැබෙන්නේ දුවෙක්මයි කියලා.”
ඒ දුවට දාපු නම මොකක්ද?
”කාවින්ද්‍යා ගංගාධාරි කොඩිකාර”
විශ්වව තාත්තෙක් කරපු ඔයාගේ ආදරණීය බිරිඳ ගැන දැන් මොනවද හිතෙන්නේ?
”එරන්දි මගේ ජීවිතය අංගසම්පූර්ණ කෙරුවා. මට හිතෙනවා ඒ නිසාම එරන්දිට තියෙන මගේ ආදරේ දැන් ඉස්සරටත් වඩා වැඩියි කියලා.”
දුව ලැබීමත් එක්ක විශ්වගේ ජීවිතයෙ සිද්ධවෙලා තියෙන සුවිශේෂී වෙනස් කම් මොනවද?
”සිද්ධවෙලා තියෙන එකම වෙනස තමයි ෂූටින් එහෙම ගිහින් ඉන්න වෙලාවට... මගේ වැඩ ඉවර වුණ හැටියෙම ගෙදර දුවගෙන එන්න හිතෙන ඕනෑකම. දුව ළඟ නැති හැම වෙලාවකම ඒ මූණ මට මැවි මැවී පේනවා. ඒ කිරි සුවඳ දැනෙනවා දැනෙනවා.”
දුවයි දුවගේ අම්මයි එක්ක තනි වුණහම මොනවද හිතෙන්නේ?
”අපි මොනතරම් වාසනාවන්තද කියලා හිතෙනවා...”



