මංගලගේ කට්ටිය මාතර රිමාන්ඩ්


පසුගිය පස් වැනි දා මාතර මහ නගර සභාව ඉදිරිපිට එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඇතුළු 11 දෙනකු උසාවි කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන්නැයි  ගන්දර පොලිසිය කළ ඉල්ලීම   මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා අද ඉවත දැමීය.

 ඔවුන් ගැටුමට සම්බන්ධ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට බලතල ඇතැයි මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

පහත නම් සඳහන් අය අත්අඩංගුවට ගැනීමට ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර (ඔහු අඟහරුවාදා (15) නීතීඥවරයකු මාර්ගයෙන් උසාවියට ඉදිරිපත් වීමට නියමිත බව දැනගන්නට ඇත.), දෙවිනුවර ආසන සංවිධායක එච් ආර් විමලසිරි, හබරාදූව ආසන සංවිධායක ලයනල් ඉපලවත්ත, විපක්ෂ නායක කාර්යාලයයේ සුදත් චන්ද්‍රසේකර,
 කමල් සොයිසා, කිත්සිරි කහටපිටිය, සන්දිල් සමරසිංහ, ලක්ෂ්මන් විජේමාන්න, සුරනිමල රාජපක්ෂ, ප්‍රියන්ත පද්බේරිය හා නදිල් මාලගොඩ .

මේ අතර රිමාන්ඩ් භාරයේ සිට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පාර්ශ්වයේ සැකකරුවන් තිස් දෙදනාගෙන් මාතර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී නුස්කි ඉක්බාල් හා මාතර මහ නගර සභාවේ සුළු සේවක අගුරුකංකානම්ගේ ජයරාජා යන දෙදෙනා මෙම නඩුවේ සාක්කිකරුවකු වූ දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් චරිත ගුණරත්න මහතා විසින් හදුනා ගනු ලැබූහ.

අනෙක්  සාක්කිකරු වූ ඔහුගේ රියැදුරු වන පෙරුමාල් මුත්තුකුමාර මහතාට පෙරට්ටුවට ඉදිරිපත් කළ කිසිවකුත් හදුනා ගත නොහැකි විය.

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ උපදෙස් මත මෙම පෙරට්ටුව පැවැත්වූයේ නීතීඥ චරිත නානායක්කාර  මහතා ය.

ඒ අනුව එම සැකකරුවන් තිස් දෙදෙනා ඇතුළුව මෙම ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයේම සැකකරුවෝ 36 දෙනෙක්   ප්‍රධාන මහේස්ත්‍රාත්  සිසිර කුමාර මහතා විසින් ලබන 21 වන දින දක්වා යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

ඒ අතුරින් අද පොලිසිය සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ වාද්දූව පදිංචි ජීවප්‍රිය චාමර නමැති සැකකරු ද ලබන 21 වැනි දා හදුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ගැටුමේ දී ගිනි අවියකින් වෙඩි තබා පස් දෙනකු ඝාතනය කිරීමට තැත් කළ බව කියන දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න  කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් ඔහු පරීක්ෂා කර බලා රිමාන්ඩ් කාලය දීර්ඝ කරන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් වරයා වෙත දැනුම් දුන්නේය.

ඔහු  ලබන 21 වැනි දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.

රිමාන්ඩ් බාරයේ අපරැක්ක ආයුර්වේද රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන මාතර හිටපු නාගරික මන්ත්‍රී සාලිය ජයවර්ධන මහතා පරීක්ෂා කිරීමට ගිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඔහු ද ලබන 21 වැනි දා දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කළේය.