භූකම්පනයෙන් හානිවූ නේපාල පංසල් දෙකක් හදයි


නේපාලයේ සිදුවූ භූමි කම්පාවෙන් විනාශයට පත් විහාරස්ථාන දෙකක් යළි ඉදිකරදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

එ් අනුව කත්මණ්ඩු අගනුවර හටගත් භූමිකම්පාවෙන් සහ පසු කම්පන තත්ත්වයන් හේතුවෙන් විනාශයට පත් ආනන්ද කුටි විහාරය සහ රටෝ ටැක් හින්දු විහාරය යළි ඉදිකරදීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශිකා මහිෂිනි කොළොන්න‍ේ මෙනවිය සඳහන් කළාය.

ඒ සම්බන්ධයෙන් නේපාලයේ දී පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ දී නේපාල රජය වෙත දැනුම් දීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහේෂිණී කොළොන්නේ මහත්මිය ප්‍රකාශ කරයි.

භූමි කම්පාවෙන් විනාශයට පත් නේපාලය යළිත් වරක් ප්‍රකෘති තත්ත්වයට පත්කිරී‍ම සඳහා එක්ව සිටින පාර්ශව සම්බන්ධීකරණය කිරීමේ අරමුණින් පවත්වන එම ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇමැති ඒ.එච්.එම් ෆවුසි මහතා සහභාගි වන බවද ඒ මහත්මිය සදහන් කරයි.

ඒ මහත්මිය මේ බව සදහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශ‍ ශ්‍රවණාගාරයේ දී   පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

නේපාලයේ ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතටපත් ජනතාවට සහන සැළසීම සඳහා ශ්‍රී ලංකාවෙන් විශේෂ කණ්ඩායමක් කත්මණ්ඩු අගනුවර බලා පිටත්ව ගිය බව සිහිපත් කළ මහේෂිණී කොළොන්නේ මහත්මිය එමඟින් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බව පෙන්වා දුන්නාය.