කාංචන කුමාර ආරියදාස
ශ්‍රී ලංකාවේ භික්ෂුණි ශාසනය ආරම්භ කොට වසර 800 පසුව මීට වසර විස්සකට ඉහත දී මෙරට ආරම්භ කළ භික්ෂුණි සසුනේ 22 වැනි උපසම්පදා උත්සවය අද දඹුල්ල රජ මහා විහාර උපෝසථාඝාරයේ දී සිදුකෙරිණි.
මෙවැ උපසම්පදා පිංකමේ දී සාමණේර භික්ෂුණීන් වහන්සේලා 20 නමක් උපසම්පදා ලැබූහ.
දඹුල්ල කලුන්දෑව භික්ෂුණි පුහුණු මධ්‍යස්ථානයේ තුන් මාසයක පුහුණුවකින් අනතුරුව සාමණේර භික්ෂුණින් වහන්සේලා සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ උපෝසථාගාරයට වැඩම කොට දින දෙකක කාලයක් එහි විශේෂ විනය හා ධර්ම පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව උපසම්පදා තත්ත්වයට පත් කිරීම මෙහිදී සිදු කිරීම විශේෂත්වයකි.
මීට වසර විස්සකට ඉහත දී ශ්‍රී ලංකාවේ වසර 800 කට පසුව නැවත භික්ෂුණි සසුන ආරම්භ කිරීමේ පුරෝගාමියා බවට පත් වූයේ සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියෝය. ඉනාමලුවේ සුමංගල නාහිමියෝ අද වනවිටත් ශ්‍රීලංකා භික්ෂුණි බලමණ්ඩලයේ සභාපතිත්වය උසුලති.
ශ්‍රී ලංකා භික්ෂුණී සාසන බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී කොත්මලේ සිරි සුමේධ භික්ෂුණින් වහන්සේ ඇතුළු භික්ෂුණීන් වහන්සේලා විශාල පිරිසක් උපසම්පදා විනය කර්මය සඳහා පැමිණ සිටියහ.