භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතෙන් සංඝ්‍යා භේද වෙනවා


(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ යෝජනාවක් ලෙස ගෙන එන පාර්ලි‌‌මේන්තුවේ සම්මත කිරීමට සැරසෙන භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මගින් සිදු වන්නේ භික්ෂුන් වහන්සේලා බේද කිරීමත්, භික්ෂුන් වහන්සේලා හට දඬුවම් කිරීමට නව නීති සෑදීමත් පමණක් බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ. 


අද (19) පැවති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ. 

තව දුරටත් උන්වහන්සේ අදහස් දක්වමින් කියා සිටියේ, අපි බුද්ධ පුත්‍රයන් ලෙස සැවොම බුද්ධ නීතියට යටත්. ඒ වගේම අපි ජීවත් වන රටේ සිවිල් නීතියට කොහොමත් යටත්. අපි එක එක නිකායන් යටතේ විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරනවා, උදාහරණයක් විදියට සමහර ස්වාමීන්වහන්සේලා ඇහි බැම කපනවා, සමහරු නොකපා ඉන්නවා, සමහරු සිවුර අඳින විදිහ වෙනස් , පාත්‍රයේ වළඳන එක , ගොටු අත්ත පාවිච්චි කරන එක , කුඩය පාවිච්චි කරන එක අන්න ඒවා ඒ ඒ නිකායන් වලට අදාල සම්ප්‍රදායන්. 

ඒවා නීති විදියට ගෙන්න හදන එකයි මේ භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මගින් ආණ්ඩුව කරන්න හදන්නේ. විනය කියන්නේ සම්ප්‍රදාය නෙමෙයි, සම්ප්‍රදාය කියන්නේ නීතියත් නෙමෙයි. සම්ප්‍රදාය තියෙන්නේ විනයටත් පහළින් තියෙන එකක්. 

අන්න ඒ නිසා මේ සම්ප්‍රදායන් නීතියක් බවට පත්කරන එක මොන තරම් වැරදි සහගත ක්‍රියාවක් ද යන්න අපි ප්‍රශ්න කරනවා යැයි උන්වහන්සේ පැවසූහ. 

මෙම මාධ්‍ය හමුවට ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියෝද ,ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරු ද එක්ව සිටියහ.

ඡායාරූප හා විඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා