භික්ෂු කතිකාවත් පනත ලත් තැනම ලොප් කරනවා - මුරුත්තෙට්ටුවේ හිමි



 
විනීතා එම් ගමගේ
 
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු භික්ෂු කතිකාවත් පනත වහා ඉවත් කර ගන්නට කටයුතු නොකළ හොත් එහි පනවන නීති රීති ලත් තැනම ලොප් කරන්නට සංඝ සමාජය කටයුතු කරන බව සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ. 
 
සංඝ කතිකාවත් අවශ්‍ය පමණට බුදුරජානන් වහන්සේ පනවා ඇතැයි ද එකී සංඝ කතිකාවත් තිබිය දී පංචශීල ප්‍රතිපත්ති වත් නොරකින පිරිසක් පනවන කතිකාවත් මහා සංඝ රත්නයට කුමකට දැයි උන් වහන්සේ විමසූහ. 
 
ආනන්ද  හිමියන් මේ අදහස් පළ කළේ නාරාහේන්පිට අභයාරාමයේ අද (2) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ මෙසේ ද කීහ.
 
‘‘බුදු හිමියන් කතිකාවත් පිළිබඳ  බුද්ධ දේශනයේ සඳහන් කළා. වැරදි කරන අවස්ථාවල දෙන දඬුවම් ද නියම කළා. වරදක් කළොත් බ්‍රහ්ම දණ්ඩනය පැනවිය හැකියි.  මේ නීති රීති තියෙද්දී තවත් කතිකාවත් මොකටද? මේ හදන්නේ අනවශ්‍ය විදියේ ගැටුම් ඇති කරන්නයි. එවැනි ප්‍රශ්න ඇති නොකර ඉන්න කියා අපි ආණ්ඩුවට කියනවා. 
 
ඒ සමඟම තවත් කරුණක් කිව යුතුයි. සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය දඩයමක් ලෑස්ති කරලා. මාධ්‍ය හසුරුවන්න මේ වගේ මිනිස්සු වැඩිකල් පවතින්නේ නැහැ. කොතලාවල මහත්තයාගේ කාලෙත් මේ වගේ  මිනිස්සු  හිටියා. යහපාන ආණ්ඩුව මේවා කරන්න ලෑස්ති වුනාට වැඩක් නැහැ. 
 
මම හොරකම, වංචාව දූෂණය වගේ දේවල් වලින් තොරයි කියල ජනාධිපතිතුමා කියල තියෙනවා. ඒක හොඳයි, නමුත් වටේ අය ඒ සකල විධ වැරදි කරනවා. කොන්ද පණ නැති කැබිනට් එකක් ගැන සමහර ඇමතිවරු කියනවා. ඒ වුණාට ඒ කියන ඇමතිවරුන්ටත් කොන්දක් නැහැ.                 
                                                                                                                      
තමන් අවංක නම් ශික්ෂාකාමි නම් ඒ මට්ටමට තමන්ගේ ගෝල බාලයොත් හදන්න ඕන. නැත්නම් මේ යහපාලන ආණ්ඩුව ගෙදර යන්න ඕන. අපට පුළුවන් තායිලන්තයේ වගේ කරන්න යැයි ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.‘‘