බෞද්ධ සම්මේලනයේ කොළඹ ප්‍රකාශනය එළි දකී


හර්ෂණ තුෂාර සිල්වා
 
ජාත්‍යන්තර බෞද්ධ දිනයක් ප්‍රකාශයට පත් කිරීම හා නාලන්දා මහ විහාරය නැවත ස්ථාපිත කිරීම යන කරුණු මුල් කරගනිමින් ‘කොළඹ ප්‍රකාශනය’ අද (5) ප්‍රකාශයට පත් කරන ලදි.
 
‘ලෝක සාමය උදෙසා බුදු දහම’ යන තේමාව යටතේ පැවැති හත්වැනි ලෝක බෞද්ධ සමුළුවේ සමාප්තිය සනිටුවහන් කරමින් ‘කොළඹ ප්‍රකාශනය’ හත්වැනි බෞද්ධ සමුළුවේ මහ ලේකම්, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝානයක වේරගොඩ සාරද නායක මාහිමියෝ අද (5) අරලිය ගහ මන්දිරයේදී කියවූහ.
 
ථේරවාද, මහායාන හා වජ්‍රායන යන බෞද්ධ සම්ප්‍රදායන්වල පිරිත් සජ්ඣායනා කිරීමෙන් ආරම්භ වූ  හත්වැනි ලෝක බෞද්ධ සමුළුවේ සමාප්ති උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් කතානායක කරු ජයසූරිය මහතා සහභාගි විය.  මහද්වීප 5ක් නියෝජනය කරමින් රටවල් 47ක මහානායක හිමිවරුන්ගේ අත්සන්වලින් යුතුව ඉදිරිපත් කරන ලද කොළඹ ප්‍රකාශනයේදී ප්‍රධාන කරුණු 7ක් කෙරෙහි අවධානය යොමු කර තිබේ.
 
ඒ අනුව ලෝකය පුරා බුදු දහම ව්‍යාප්ත කිරීම, ජාත්‍යන්තර බෞද්ධ දිනය ප්‍රවර්ධනය කිරීම, කෘතවේදී ප්‍රකාශ කිරීම, නාලන්දා මහා විහාරය නැවත ස්ථාපිත කිරීම, සාත්තාපන්ජීඝ ශ්‍රවණාගාරය (පළමු ධර්ම සංඝායනාව පැවැති සප්තපර්ණී ගල්ගුහාව) හා පළමු බෞද්ධ කවුන්සිලය පුනර්ජීවනය කිරීම, 21 වැනි සියවසේ බෞද්ධ කවුන්සිලය හා 8 වැනි ලෝක බෞද්ධ සම්මේලනය පැවැත්වෙන රට ප්‍රකාශයට පත් කිරීම එම ප්‍රධාන කරුණුය. 
 
ජාත්‍යන්තර බෞද්ධ දිනය ලෙස අප්‍රේල් 8 වැනිදා නම් කර තිබෙන අතර 8 වැනි ලෝක බෞද්ධ සම්මේලනය ජපානයේ පැවැත්වෙන බව සමුළුවේදී නිවේදනය කරන ලදි. 
ලබන වසරේ නොවැම්බර් මාසයේදී ජපානයේ පැවැත්වෙන 8 වැනි ලෝක බෞද්ධ සමුළුවට සමගාමීව ජපානයේදී නාලන්දා මහ විහාරය විවෘත කිරීමේ සමාරම්භක උත්සවයට පැවත්වීමට නියමිතය.