(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවන බවට උප කුලපතිවරයාට නිර්නාමික දුරකතන ඇමතුමක් ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සරසවි සිසුවා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් හරිස් පැල්පොල මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවෙකු වන නුගේගොඩ කන්දවත්ත පාර පදිංචි ඩෙන්සිල් ප්‍රසන්න වීරසූරිය නැමැති 27 හැවිරිදි සිසුවායි.
විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාදෙමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ සහ ඉන් පිටත බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවන බවට දන්වා තිබූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
කුලපතිවරයා ඒ පිළිබඳව ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට දැනුම් දෙමින් ඒ සම්බන්ධව මිරිහාන පොලිසියටද වහාම පැමිණිලි කර ආරක්ෂක විධි විධාන තර කරන ලෙස උපදෙස් ලබාදී තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව මිරිහාන පොලිසියේ නිලධාරීන්, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විශ්වවිද්‍යාලයට කැඳවා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වීය.

