බෝම්බ පිපිරීම්වලින් විදේශිකයෝ 12 ක් අතුරුදන්


(තිළිණි ද සිල්වා)

කොළඹ හෝටල් පරිශ‍්‍රවල හා වෙනත් ස්ථානවල ඉකුත් 21 වැනිදා සිදු වූ  බෝම්බ පිපිරීම්වලින් විදේශිකයින් 12 දෙනෙකු අතුරුදන්ව ඇතැයි   විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (29) නිවේදනය කළේය.

අතුරුදන්ව ඇති එම විදේශිකයින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන හඳුනා නොගත් මළ සිරුරු අතර පැවතිය හැකි බවද එම අමාත්‍යාංශය කියා සිටී.

එම බෝම්බ ප‍්‍රහාරවලින් මියගිය විදේශිකයින්ගෙන් 42 දෙනෙකු අද පස්වරුව වනවිට හඳුනාගෙන ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව බංගලාදේශ ජාතිකයකු, චීන ජාතිකයන් දෙදෙනෙකු,  ඉන්දීය ජාතිකයන් 11 දෙනකු ,   ඩෙන්මාර්ක ජාතිකයන් තිදෙනකු, ජපාන ජාතිකයකු, නෙදර්ලන්ත ජාතිකයකු, පෘතුගාල ජාතිකයකු, සෞදි අරාබි ජාතිකයන් දෙදෙනකු, ස්පාඤ්ඤ ජාතිකයින් දෙදෙනෙකු , ස්විට්සර්ලන්ත ජාතිකයෙකු , තුර්කි ජාතිකයන් දෙදෙනකු , බි‍්‍රතාන්‍ය ජාතිකයන් හයදෙනකු, ඇමෙරිකානු ජාතිකයෙකු ,  ඇමරිකානු සහ බි‍්‍රතාන්‍ය ද්විත්ව පුරවැසිභාවය හිමි දෙදෙනෙකු , ස්විට්සර්ලන්ත සහ නෙදර්ලන්ත ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුද , සහ ඔස්ටේ‍්‍රලියානු සහ ශ‍්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි විදේශීකයින් දෙදෙනෙකු  ද මියගොස් ඇති බවට හඳුනාගෙන ඇති විදේශිකයින් අතර වන බව  එම අමාත්‍යාංශය පවසයි.

මේ අතර බෝම්බ ප‍්‍රහාරවලින් තුවාල ලැබූ තවත් විදේශීකයින් පස් දෙනෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සහ කොළඹ පෞද්ගලික රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන් ගේ සුවදුක් පිළිබඳ අමාත්‍යාංශ බලධාරීන් නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බවද විදේශ අමාත්‍යාංශ්‍ය කියා සිටී.

මීට අමතරව තුවාල ලැබූ තවත් පිරිසක් ප‍්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

මේ අතර විපතට පත්වූ විදේශිකයින්ට හා ඔවුන්ගේ පවුල් වල පිරිස් වලට සහාය දැක්වීම සඳහා 0094 11 232 3015 යන හදිසි දුරකථන ඇමතුම් සේවය තවදුරටත් ක‍්‍රියාත්මක බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.