බෝම්බ ප්‍රහාරය ගැන පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )
 
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු වී ඇති  පෙත්සම්, පස්දෙනකුට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි නීතිපති අද ( 31) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ෆර්සානා ජමීල් මහත්මිය මෙම දැනුම් දීම කළාය.
 
නීතිපතිගේ එම ඉල්ලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු කිරීමට කටයුතු කරන බව දැනුම් දුන්  ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන ජුනි 06 වැනි දිනට කල් තැබීය.
 
එම ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ පියෙකු ගොනු කළ පෙත්සම, සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු  ගොනු කළ පෙත්සම ඇතුළු පෙත්සම් කිහිපයක් අද (31)   සිසිර ද ආබෘ, ගාමිණී අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් යුතු  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳැවිණි.
 
ප්‍රහාරයෙන් දරු දෙදෙනා අහිමි වූ පියෙකු ගොනු කළ පෙත්සම අද  කැඳවූ අවස්ථාවේදී   වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පති වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍ර්මරත්න සහ නීතීඥ  විරාන් කොරයා යන  මහත්වරු පෙනී සිටියහ. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ගාමිණි පෙරේරා මහතා පෙනී සිටියේය.