බෝතල්වලට පෙට්‍රල් නෑ - යතුරුපැදි සංගමයෙන් විරෝධය


ඇතිවී තිබෙන පෙට්‍රල් හිඟය හේතුවෙන් රථවාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අද(7) සිට අදාළ ඉන්ධන හිඟය යථා තත්ත්වයට පත්කරන තුරු ඉන්ධන පිරවුම්හල්වලින්  වාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කිරීමට තීරණය කර ඇත. මේ අනුව බෝතල්, කෑන් හා වෙනත් පිරවුම් උපකරණවලට තෙල් නිකුත් නොකරන බවත් ඒ සඳහා වාහනයක් රැගෙන යාම අනිවාර්ය බවත් කියති.

මේ අතර එම ක්‍රියාමාර්ගයට තම විරෝධය පළ කරමින් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමුකර ඇත.

ඉන්ධන නොමැතිව අතරමග නවතින වාහන හා යතුරුපැදි සඳහා පෙට්‍රල් ලබාගැනීමේදී එවන් චක්‍රලේඛයක් මගින් වියවුල් තත්ත්වයක් මතුවන බවත් විදුලි ජනන යන්ත්‍ර, දිනපතා භාවිත කෙරෙන විවිධ කාර්මික උපකරණ සඳහා ඉන්ධන ලබාගැනීමේදී මෙය මහත් ගැටළුවක් බවත් එම සංගමය පෙන්වා දෙයි.

මෙවැනි අත්‍යවශ්‍ය සේවාවක් සීමා කිරීමකට ලක් කිරීම ගැටලුවක් බවත් එය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් තම ලිපියෙන් පෙන්වා දෙන සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස ද ඉල්ලා සිටී.