බොහෝ ප්‍රදේශවලට හෙට සිට වැසි


(ඩයනා උදයංගනී)

උතුරු පළාතේ හැර දිවයිනේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (16) සිට මෙම මස 18 වැනිදා තෙක් පස්වරුවේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දණ සහ වයඹ පළාත්වල පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවන අතර ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු හෝ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

ඊසාන දිග මෝසමේ බලපෑමෙන් මෙම වැසි ඇතිවන අතර මෙම මස අගදී අන්තර් මෝසම සක්‍රීය වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.

සාමාන්‍යයෙන් සෑම වසරකම මාර්තු මස අවසානයේ සහ අප්‍රේල් මාසයේදී අන්තර් මෝසමේ බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවන නමුත් මෙවර වෙනත් වසරවලදී තරම් වැසි නොලැබෙනු ඇතැයි ඔහු සඳහන් කළේය.

එබැවින් අන්තර් මෝසමේ බලපෑමෙන් දැනට පවතින නියං තත්ත්වය සම්පූර්ණයෙන් පහව යනු ඇත්ද යන්න කිව නොහැකි බව ද එම ප්‍රකාශකයා කීවේය.