බොරු සංඛ්‍යා ලේඛනවලින් ආධාර නැතිව ණයගන්න සිදුවෙලා


 (සනත් ගමගේ)

මේ රටේ දුප්පත්කමේ ප්‍රතිශතය 6%ක් හෝ 7%ක් මට්ටමක තියනවා කියා සංඛ්‍යා ලේඛන ජිල්මාට් එකක් පසුගිය රජය ක්‍රියාත්මක කළ නිසා  අද අපේ රටට අධාර  උපකාර කිරීම නතර වී ගිනි පොළියට ණය ලබා ගැනීමට සිදුවී ඇති බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා (22) හම්බන්තොටදී කීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභින්ට සමෘද්ධිය ලබාදීම සඳහා පැවැති උත්සවයේ දී සජිත් ප්‍රේමදාස මහතා එසේ කීය.

‘‘සමෘද්ධිය ලබන පවුල් ලක්ෂ 14 ක් දැනට සිටිනවා. රටේ සමස්ථ පවුල් සංඛ්‍යාවෙන් එය 27%ක් පමණ වෙනවා. එසේ නම්  6%ක් 7%ක් දුප්පත්කමේ ප්‍රතිශතය වන්නේ කෙසේද? දුප්පතුන් නගා සිටුවීමට සමෘද්ධිය දෙනවා නම් දුප්පත්කමේ ප්‍රතිශතය 27%ක් බව පේනවා. එසේනම් සංඛ්‍යා ලේඛන ජිල්මාට් එකක් ගසා රට මැදි ආදායම් ලබන රටක් බව බොරුවට ලෝකයාට පෙන්වනවා‘‘ යැයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.