
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දක්ෂිණ කපුගේ නොහොත් රනා නමැත්තාගේ නිවසට පෙරේදා (23) අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි.
බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි යතුරු පැදියද කොටිකාවත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබිණි.
අත්අඩංගුවට පත්වූවන් අතර යතුරු පැදියේ ලියාපදිංචි අයිතිකරු , එය උකස් තැබූ බව කියන ඔහුගේ සහෝදරයා සහ උකස් ගත් බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු වන බව පොලිසිය කියයි.
බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි යතුරු පැදියේ ලියාපදිංචි අංකය සීසිටීවී කැමරාවෙන් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රනා නමැත්තා ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව ඇති වනාතේ චතු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සමීපතමයකු බව පොලිසිය කියයි.

