බොරලැස්ගමුවේ ‘සරා මල්ලී’ අත්අඩංගුවට


ඉන්දිකා රාමනායක
 
මිනිමැරුම් ඇතුළු අපරාධ රැසක් සිදුකර දෝහා කටාර් රාජ්‍යයේ සැඟව සිට මෙරටට  පැමිණ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන සරත් බණ්ඩාර නොහොත්  ‘‘සරා මල්ලි ’’  නැමැත්තා බොරලැස්ගමුවේ ඔහුගේ නිවසේ සිටියදී බොරලැස්ගමුව පොලිසිය විසින්  අත්අඩංගුවට  ගෙන ඇත.

සැකකරු නැවත ලංකාවට පැමිණ සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරු මත බොරලැස්ගමුව පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (3) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මොහු  මාකදුරේ මධුෂ් හා අංගොඩ ලොක්කා ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වු අයෙක් බවට හෙළි වී ඇති බවත් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇත්තේ මොහු බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

2017 වසරේ බොරලැස්ගමුවේ දී පුද්ගලයින් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීමට  තැත්කිරිම,  මතුගම, අලූත්ගම,  වැලිපැන්න, කළුතර,   ප‍්‍රදේශවලට සිදුකර තිබු අපරාධ රැසකට මොහු සම්බන්ධ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

2016 වසරේ වැලිපැන්න  පොලිස් වසමේ  ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම,  තවත් දෙදෙනකු  ඝාතනය කිරීමට තැත්කිරීම,  2017 වසරේ වැලිපැන්න ප්‍රදේශයේ දී  පුද්ගලයින් දෙදෙනකු කපාකොටා ඝාතනය කිරීමට තැත්කීරීම,  2017 වසරේ ගිනි අවියක් පෙන්වා පුද්ගලයකු පැහැරගෙන යාම,  ඇතුළු අපරාධ රසක් මොහුට එරෙහිව වාර්තා වී ඇත.

මෙම  අපරාධ සම්බන්ධයෙන් සැකකරුට මතුගම හා කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණ වලින් වරෙන්තු 5 ක් ඇති බවත් හෙතෙම කීය.