මීරිගම අම්බන මහා බෝධි ළමා නිවාසේය සිට පාසල් යද්දී දුම්රියක ගැටිමෙන් මියගිය 11 හැවිරිදි දරුවාගේ අවසන්කටයුතු අද මැද කල්එළිය මුස්ලිම් පල්ලියේ දී සිංහල හා මුස්ලිම් දෙපිරිසගේ සහභාගීත්වයෙන් සිදුකැරිණි.
ළමා නිවාසයේ බොදු පරිසරයකට හුරු වෙමින් බුදු දහම උගනමින් වැඩුණු මොහොමඩ් අයාෂ් නමැති දරුවාගේ දේහය බාරදීමට ඔහුගේ මව සොයා ගැනීමට නොහැකි විය. වතුපිටිවල රෝහලේ දී මරණ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේ දී දරුවාගේ අවසන්කටයුත පල්ලියේ දී සිදුකිරීමට මුස්ලිම් පල්ලිවල නියෝජිතයෝ කැමැත්ත ප්‍රකාශ කළෙන් පොලිසිය හා පරිවාස දෙපාර්තමේන්තුව ද ඊට විරෝධතාවක් දැක්වූයේ නැත.
අම්බන මහා බෝධි ළමා නිවාසයේ පාලක මණ්ඩලය පරිවාස දෙපාර්තමේන්තුවේ ද කැමැත්ත ඇතිව කල්එළිය මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේ දරුවාගේ දේහය මිහිදන් කිරීමට පියවර ගැණිනි.
දේහය මුස්ලිම් පල්ලියට ගෙන ඒමෙන් පසු මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති සීතාඑළියේ චන්දවිමල, පරිවේනාධිපති මරදන්කල්ලේ සුසීම හිමි ඇතුළු සංඝරත්නය ද අවසන් කටයුතු සඳහා සහභාගී වී සිටියහ. හකම්දී අම්හර් මවුලවිතුමන් ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව සිංහල හා මුස්ලිම් පිරිස එක්ව දේහය මිහිදන් කළහ.




