බොතේජු - සෝමරත්න ලෝක ස්නූකර් තරගාවලියට ඉන්දියා යති


අන්තර්ජාතික බිලියඞ් හා ස්නුකර් සම්මේලනය මෙහෙයවන ලෝක ස්නුකර් ශූරතාවලියට සහභාගිවීම සඳහා සුසන්ත බොතේජු සහ රයන් සෝමරත්න ඉන්දියාව බලා පිටත්ව ගියහ. තරගාවලිය මේ මස 28 වැනිදා සිට දෙසැම්බර් මස 3 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වේ. මෙවර ලෝක තරගාවලියට රටවල් 25 කින් ක‍්‍රීඩකයෝ 100 කට වැඩි පිරිසක් ඉදිරිපත්ව සිටිති. තරගාවලියේ මුලික වටයේදී ‘ඒ’ කාණ්ඩයේ සිට ‘ආර්’ කාණ්ඩය දක්වා කාණ්ඩ 18 කින් ක‍්‍රීඩකයෝ තරග වදිති. එහිදී සුසන්ත බොතේජු  ‘එච්’ කාණ්ඩයෙන් ප‍්‍රංශය, ජපානය, පින්ලන්තය, රුසියාව, ඇමරිකාව යන රටවල ක‍්‍රීඩකයෝ හය දෙනෙක් සමග මුලික වටයේදී තරග වදිති. ජාතික ස්නූකර් ශූරයා වන සුසන්ත බොතේජු අන්තර්ජාතික තරග අත්දැකීම් ලබා සිටින ප‍්‍රවීණ ක‍්‍රීඩකයෙකි.  හිටපු ලෝක බිලියඞ් ශුර එම්. ජේ. එම් ලාෆීර්ගෙන් පසුව වැඩිම ස්නුකර් ශුරතා දිනා සිටින සුසන්ත බොතේජු පසුගිය වසරේ දිනා ගත්තේ සිය 14 වැනි ජාතික ශුරතාවයි. සුසන්ත 1996 වසරේ සිට 2001 වසර දක්වා පිට පිටම හය වරක් ජාතික ශුරතාව දිනා ඇති අතර ඔහු 2009 වසරේද ශුරතාව දිනා ගත්තේය. සුසන්ත, ඉන්දියාව බලා යාමට ප‍්‍රථමයෙන් ඊයේ ‘ලංකාදීපයට’ පැවසුවේ පනාගොඩදී මාස තුනක කාලයක් තමන් සහ රයන් පුහුණුවීම්වල නිරත වු බවත්, තරගාවලියට හොඳ සුදානමකින් සිටින බවත්ය. ජාතික ශූරතාවලි හතරකට සහභාගිවී සිටින රයන් සෝමරත්න පසුගිය වසරේ සහ 2009 වසරේ ජාතික අනුශූරතාව දිනාගත් ක‍්‍රීඩකයාය. රයන් ලෝක තරගාවලියේ මුලික වටයේදී රුසියාව, ඉන්දියාව, නෙදර්ලන්තය යන රටවල ක‍්‍රීඩකයෝ ‘පී’ කාණ්ඩයෙන් තරග වදිති.