බේරුවල මෙහෙයුමකදී සැකකරුවන් 10 ක් අත්අඩංගුවට


(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල වෙත්තිමරාජපුර, මරදාන මාලිගාහේන, මහගොඩ ,ගබඩාගොඩ , පැලස් පාක්, කෝපියාවත්ත සහ ගොරකාදූව යන ප්‍රදේශ ගණනාවක යුද හමුදාව ,ගුවන් හමුදාව හා පොලිස් නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී අද (27) සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නිවාස කිහිපයක තිබී යුද හමුදා නිල ඇදුම්වලට සමාන ඇඳුම් තොගයක්, කඩු දෙකක්, දුරදක්න දෙකක් හැඳුනුම්පත් කිහිපයක් සොයා ගත් බව පොලිසිය කීය.

මේ අතර වෙත්තිමරාජපුර ප්‍රදේශයේ අක්කර ගණනාවක ආරක්ෂක කඳවුරක් ආකාරයෙන් ආරක්ෂක බාධක සහිත කම්බි රෝල් යොදා තිබූ භූමියක් සහිත පරිශ්‍රයක් දැඩි පරීක්ෂාවට ලක් කළ අතර එය විමර්ශනයේදී අනාවරණය වුයේ මාස කිහිපයකට පෙර විදෙස් සංචාරකයින් සිටි විදේශිකයෙකුට අයත් සංචාරක නිකේතනයක් බවයි.

ආරක්ෂක හමුදා එම පරිශ්‍රයට ගිය අවස්ථාවේ එහි සිටි මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකුගෙන් තොරතුරු සටහන් කරගෙන එම පරිශ්‍රය පොලිසිය විසින් මුද්‍රා තබා ඇත.

හෙට (28) එම මුද්‍රා තැබූ පරිශ්‍රය නැවත පරීක්ෂා කරන බව පොලිසිය සඳහන් කරයි.