බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය මහින්දත් විවෘත කරයි


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
චීන රජයේ ණය ආධාර යටතේ අලුතින් ඉදි කළ මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (10) දෙවැනි වරට විවෘත කෙරිණි.

ඒ වෙනුවෙන් මාතර ප්‍රධාන දුම්රිය ස්ථානයේ උත්සවයක් ද සංවිධානය කර තිබුණේය.එය ඉදිරිපස මාර්ගයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොඩි ඔසවා සරසා තිබුණි.

මෙම දුම්රිය මාර්ගය ඉකුත් 08 වැනි දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු යහපාලන රජයේ ඇමතිවරුන්ගේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් විවෘත කරන ලදි.

එම අවස්ථාවට සහභාගී වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා අද (10) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෑවැත්වු උත්සවයට ද සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.

සවස 5.30 ට පමණ මාතර ප්‍රධාන දුම්රිය ස්ථානය වෙත පැමිණී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාතර පුරපති රංජිත් යසරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පිලි ගත්තේය.මගුල් බෙර වාදන මධ්‍යයේ ඔහු දුම්රිය ස්ථානය වෙත කැදවා ගෙන ආවේය.

ඉන් අනතුරුව නව දුම්රිය මාර්ගයේ මුල් ගල් තැබීමට අදාල සමරු ඵලකය නිරීක්ෂණය කල මහින්ද රාජපක්ෂ මහතා පසුව ප්‍රවේශ පත්‍ර කවුලුව වෙත ගොස් මුදල් දී ටිකට් පතක් මිලදී ගන්නා ලදි.

පසුව මාතර දුම්රිය ස්ථානයේ පැවති ආගමික වතාවත් වලට සහභාගී වී ඒ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය.

පසුව ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ගොස් සමරු පොතේ සටහනක් තැබූ රාජපක්ෂ මහතා බෙලිඅත්ත බලා යන දුම්රිය පැමිණෙන තෙක් එම කාර්යාලය තුල සතුටු සාමිචියක යෙදී සිටියේය.

සවස 6.10 පමණ බෙලිඅත්ත බලා යන දුම්රිය මාතර ප්‍රධාන දුම්රිය ස්ථානයට පැමිණී පසු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිස එම දුම්රියට ගොඩ විය.

එම දුම්රියේ 02 වන පංතියේ මැදිරියක අසුන් ගත මහින්ද රාජපක්ෂ මහතා මග දෙපස රෑස්ව සිටි ජනතාවට ආචාර කරමින් බෙලිඅත්ත දක්වා ගමන් කළේය.

පිලදුව,වෙහරහේන,කැකණදුර,බඹරැන්ද,වැව්රුකන්නල යන ප්‍රධාන හා උප ප්‍රධාන දුම්රිය ස්ථාන වලදී ද ඒ මහතාට රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් පිලිගැනීමක් හිමි විය.
 
 අතරමග දී ජනතාව ද දෑත් ඔසවමින් ඔහු වෙත ආචාර කල අතර දුම්රිය මග දෙපස රතිඥ්ඥා දල්වමින් ජනතාව ප්‍රීති ඝෝෂා පවත්වන අයුරුද දැක ගන්නට ලැබුණි.
 
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ,කාංචන විජේසේකර,මහින්ද යාපා අබේවර්ධන,ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පියල් නිශාන්ත, නිරෝෂන් ප්‍රේමරත්න ,ජෝන්ස්ටන් ප්‍රනාන්දු  ,බස්නාහිර පලාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර,දකුණු පලාත් සභා හිටපු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, බිංදු වීරසිංහ, අරුණ ගුණරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.