බෙල්ලන්විල අනුනාහිමි අපවත්වීමට හේතුව හෘදයාබාධයක්


(විනීතා එම් ගමගේ)

බෙල්ලන්විල රජමහා  විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන් අපවත් වී ඇත්තේ සැත්කමෙන් පසු ඇති වූ හදිසි හෘදයාබාධයකින් යැයි කළුබෝවිල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි පී. බී. දසනායක මහතා ලංකාදීපයට පැවැසීය. 

විමලරතන නාහිමි දේහයේ ඉළ ඇට බිඳුණු තුවාල තිබු බවත් ඒ සඳහා සැත්කමක් කර තිබු නමුත් උන්වහන්සේ අපවත්වීමට ආසන්නතම හේතුව හෘදයාබාධයක් බවද පශ්චාත් මරණ පරික්ෂණයේ දී හෙළි වූ බව දසනායක මහතා ප්‍රකාශ කළේය. 

ඉකුත් 2 වැනිදා උදෑසන හදිසි අනතුරකට ලක්වූ බෙල්ලන්විල නාහිමියෝ කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබූහ. පසුව එහිදී කරන ලද සැත්කමකින් අනතුරුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබීය. 

උන්වහන්සේ අපවත්වූයේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වෙද්දීය. අපවත්වීමෙන් පසු කළුබෝවිල මහ රෝහලේ දී පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විණ.