බුදුපිළිම වහන්සේලාට පැනවු බදු ජනපති නියෝගයෙන් ඉවතට


 

(  බී.ජී. චතුරංග)

ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි  විහාරස්ථාන සඳහා  බෙදා දීම සඳහා  චීනයෙන් වැඩම කරවු  බුදු පිළිම වහන්සේලා  විසිනම සඳහා පනවා තිබු රුපියල්  ලක්ෂ 32 ක බදු මුදල ඉවත් කරන්නැයි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  දැනුම් දී තිබේ.

 

 ඒ අනුව බදු වලින් නිදහස් කෙරුණු පිළිම වහන්සේලා විහාරස්ථානවලට බෙදාදීමේ පුණ්‍ය උත්සවය මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ශ්‍රාස්ත්‍රපති රාජකීය පණ්ඩිත  වලවාහැංගුණවැව ධම්මරථන නායක ස්වාමින්වහන්සේ ඇතුළු නායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ අද (17) දහවල් සිදු කෙරිණි.

 

මෙම පිළිමවහන්සේලා බෙදාදීමේ පුණ්‍ය උත්සවය පසුගිය වෙසක් දින (අප්‍රේල් 29 දා ) සිදුකිරීමට නියමිතව තිබුණත් රුපියල් 32 ලක්ෂයක බදු මුදලක් ගෙවීමට සිදුවීම නිසා උත්සවය ප්‍රමාද කිරීමට සංවිධායකයන්ට සිදුවිය.

 

අනතුරුව මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කිරීමෙන් පසු මෙම පිළිම වහන්සේලා බදු මුදල්වලින් නිදහස් කිරීමට  ජනාධිපතිවරයා නියෝග කර ඇත.

 

අනතුරුව කිලෝග්‍රෑම් 1500ක් බරින් යුතු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු බෝධිසත්ව පිළිමවහන්සේලා බුද්ධ ප්‍රතිමා වහන්සේලා විසි නමක් හා තුන් සූත්‍රය සහිත අධි තාක්ෂණික උපකරණ පූජා කිරීම අද (17) සිදු කෙරිණි.

 

දෙසිය නමක් මහා සංඝරත්නය විෂයෙහිලා දහවල් දානය පිරිනැමීමෙන් අනතුරුව එම උත්සවය මිහින්තලය නගර උයනේදී සිදු කෙරුණි.

 

උත්සවය සම්බන්ධයෙන් අනුශාසනාවක් කළ මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ශ්‍රාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය වලවාහැංගුණවැව ධම්මරතන නායක හිමියෝ මෙසේ පැවසුහ.

 

‘මෙම උත්සවය පවත්වන්න සංවිධානයකරලා තිබුණේ පසුගිය වෙසක් පොහොය පැවති 29 වනදා දිනයේ. නමුත් රුපියල් 32 ලක්ෂයක රේගු බදු ගෙවීමට සිදුවීම නිසා එය මුදා ගැනීමට අපහසු  වුණා. මෙම පුවත මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග  සමස්ථ ලෝකවාසි බෞද්ධයන්ට පමණක් නෙමෙයි බෞද්ධ නොවන ජනතාවටත් මහා කම්පන තරංගයක් නිකුත් වුණා. මේ පුවත අන්තර් ජාලයෙන් කොරියාව ජපානය චීනය ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලටත් ගියා. එහි සිටින බෞද්ධයන් මට දුරකථනයෙන් ඊමේල් පණිවිඩ වලින් මුදල් දෙන්න කතා කළා.මගේ බැංකු ගිණුම් අංක ඉල්ලුවා.මට දෙන්න එහෙම ඒවා නෑ.මම කිවුවා කලබල වෙන්න එපා රටේ නායකයන් මොනවා හරි කරේ නැත්නම් අපි මුදල් එකතු කරමු කියලා. සීදුවේ කතෝලික තරුණයෙකු විහාරස්ථානයට ඇවිල්ලා සියලු මුදල් දෙන්න පෙරොන්දු උනා.

 

මාධ්‍ය මගින් කළ  අනාවරණය සමග ශ්‍රී ලංකා රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, කථානායක කරු ජයසූරිය මහතා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, වජිර අබේවර්ධන මහතා, ගාමිණි ජයවික්‍රම  පෙරේරා යන මහත්වරුන් මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතා  ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු කිහිපදෙනෙක්ම ඊට හුගක් උදවුකළා.

 

මෙම පිළිමවහන්සේලා මෙරටට වැඩම්මවූ සුසෑන් මහත්මියටත් අද හරිම සතුට දවසක් වුණා. එතුමිය මීට පෙර රටින් බැහැරව යෑමට සූදානම්ව සිටියත් උත්සවය පවත්වලාම යනවා කියන අදිටනින් හිටියේ. මෙම පිළිමවහන්සේලා බදු මුදල් අයනොකර ඒ සදහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීමට කටයුතු සිදුකළ සියලුම දෙනාට ත්‍රීවිධ රත්නයේ ආශිර් වාදය ලැ‍බෙනවා යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

 

‘මෙම මිලියන ගණනක් වටිනා පිළිම වහන්සේලා දුෂ්කර පන්සල් වල ස්වාමීන් වහන්සේලාට බෙදාදීමට නියමිතව තිබුණේ පසුගිය වෙසක් පොහෝ දිනයේදීය. එහෙත් ලක්ෂ 32 ක බදු මුදලක් අයකරපු නිසා එදින බෙදා දීමට නොහැකි වී ස්වාමීන් වහනසේලාට ආපසු හිස් අතින් පන්සල් වලට යාමට සිදුවුණා. යම් යම් අවස්ථා වලදී මිත්‍යා දුෂ්ටික පනත් ගෙන ආ ඇතැම් අමැතිවරු නිසා තමයි මෙම කටයුත්ත මග හැරුණේ. යැයි මෙහිදී අනුශාසනාවක් කල සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වෙල සාසනරතන හිමිපාණෝ කියා සිටියහ.

 

එදා මිහිදු මහ රහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කරලා දේවානම්පියතිස්ස රජතුමාට කිවේ ඔබ මේ රටේ පාලකයා නොවේ මේ රටේ ආරක්ෂකයා කියලා. අපි මේ රටේ පාලකයින්ට කියනවා ඔබතුමාලා ජනතාවගේ ඡන්දයෙන් ඒ ඒ තැන්වලට පත්වුයේ මේරට පාලනය කරන්න නොවේ රට ආරක්ෂා කරන්න කියලා. මේ රටේ බටහිර ගැති ඊනීයා මතවාද වපුරන්න හදන බලවේග වලට, මිත්‍යා දුෂ්ටිකයන්ට අපි කියනවා මේ චීවරය තිබෙනකල් ඒක කරන්න බැහැ කියලා. ‘ යයිද  සාසනරතන හිමියෝ පැවසුහ.