මනුල වික්‍රම
ගල්ගමුව අන්දරවැව ප්‍රදේශයේ ඉපැරණි සොහොන් බිමකින් ලබාගත් අස්ථි කොටස් කිහිපයක් ක්‍රිස්තු පූර්ව 500 ට අයත් බවට ඇමරිකාවේ බීටා ඇනලිටික් පර්යේෂණ ආයතනය කාලනිර්ණය කර රජරට විශ්ව විද්‍යාලයට දැනුම් දී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සුසාන භූමියකින් අක්ෂර සහිත මැටි වළං කැබලි තුනක් ද අන්දර වැව පුරා විද්‍යා කැණීමේ දී සොයාගත් බව එම පර්යේෂණයේ නියැළි ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා හා උරුම කළමනාකරණ අංශයයේ ආචාර්ය තුසිත මැන්දිස් මහතා අනාවරණය කළේය.
රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරන අංශය මගින් මීට මාස කිහිපයකට පෙර අන්දරවැව ප්‍රදේශයේ වනගත වු අක්කර දාහතරක පමණ භූමි ප්‍රදේශයක් තොරාගෙන පුරා විද්‍යාත්මක පර්යේෂණ ආරම්භ කළේ ය.
පූර්ව ඉතිහාසයට හෙවත් මීට වසර 2800කට පමණ පෙර යුගයට අයත් සුසාන භූමි (මෙගලිතික සුසාන) මෙම ප්‍රදේශයේ හඳුණාගෙන තිබේ. ඒවා මුල්කරගෙන විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා විෂය හදාරන සිසුන් සමග ආචාර්යවරුන් මෙම පරික්ෂණයන් ආරම්භ කරන ලද්දේ අනුරාධපුර අගනුවර කේන්ද්‍රස්ථානයට බටහිර හා වයඹ දිශාවෙන් පූර්ව ඓතිහාසික යුගයේ පැවැති සමාජ සංස්කෘතික තත්ත්වයන්,තාක්ෂණය,ග්‍රාමීය සංස්කෘතිය හා විකාශය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහායි.
ඒ අනුව පසුගිය මාසයේ දි ඇමරිකානු පර්යේෂණ ආයතනයට යැවූ අස්ථි කොටස් දෙක ලබාගෙන ඇත්තේ මෙම කැණීමේ දී හමුවු සුසාන භූමියක වූ මැටි මුට්ටියක් තුළ ය.බීටා ඇනලිටික් ආයතනයෙ ලොව පිළිගත් පුරා විද්‍යා කාල නිර්ණ ක්‍රමය වන කාබන් දාහතර (C 14) පරීක්ෂාව සිදුකර මෙම නිර්ණය ලබා දී තිබේ. ඒ අනුව ගල්ගමුව ප්‍රදේශයේ ජනාවාස බුද්ධ කාලයට සමානුපාතික බවට තහවුරු වන බවත් මීට පෙර එවැනිම ජනාවස පොල්පිතිගම,යාපහුව හා පිංවැව යන යාබද ප්‍රදේශවල ඇති බවත් ඒවා හඳුණා ගැනීමට මෙම තහවුරුව ගැලපෙන බවත් ආචාර්ය තුසිත මැන්දිස් පැවැසීය.






