(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
කණ්ඩලම වැවේ දියනෑමට ගිය තරුණයකු අද (28) පස්වරුවේ දියේ ගිලී මිය යෑමත් සමග තරුණයා සමග වැවේ මත්පැන් පානය කරමින් සිටි හා බීමතින් සිටි මිතුරා වැවට දැමු කීපදෙනකු ඇතුළු තරුණයන් 16 දෙනෙකු සැක පිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම සිද්ධිය වාර්තා නොකරන්නැයි මාධ්‍යවේදීන්ට ඔවුහු පහර දෙන්නටද වුහ. ඊට අමතරව තරුණයන් පිරිස රෝහලේ සේවකයන් සමගද ගැටුමකට යන්නට ගොස් පොලිසිය මැදිහත්වී සමතයකට පත්කර ඇත .
මෙසේ මියගොස් ඇත්තේ මහරඹ ගොඩේවත්ත උණවටුන ප්‍රදේශයේ පදිංචි කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන බව කියන වේරගොඩ කපුගේ ඉසුරු රන්දික නමැති 21 හැවිරිදි තරුණයෙකි.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන මෙම සේවකයන් දාහත් දෙනෙකු බස්රථයකින් කණ්ඩලම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ කණ්ඩලම වැවේ මත්පැන් පානය කිරීමට තහනම් සහ දියනෑමට තහනම් බව අනතුරු ඇඟවීම් සවිකොට ඇති ස්ථානයක අධික ලෙස මත්පැන් පානය කරමින් දිය නෑමට ගොස් ඇතිබව පොලිසිය කියයි .
එම ස්ථානයේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ පැමිණ සිටී දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන ප්‍රිය රංජන කුමාර මහතා සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඇතුළු මිතුරන් පිරිසක් මෙම ස්ථානයේ රැඳී සිටියදී මියගිය තරුණයා සමග පැමිණ සිටි තරුණයන් පිරිස අධික ලෙස මත්පැන් පානය කරමින් වතුරට බැස දිය නෑ බවත් මත්පැන් පානය කොට අධික බීමතින් සිටි වැතිරී සිටි තරුණයකු තවත් තරුණයන් කිහිපදෙනෙකු ඔසවාගෙන ගොස් වතුරට දැමූ බවත්ය. පසුව ටික වේලාවක් ගතවෙද්දී එම ස්ථානයේ දිය නාමින් සිටි කුඩා දරුවන් තිදෙනෙකුට පුද්ගලයාගේ සිරුර කකුලේ පැටලී පසුව ගොඩට පැමිණ මත්පැන් පානය කරමින් සිටි අනිත් මිතුරන් පිරිසට දැනුම්දුන් බවද පසුව ඔවුන් පැමිණ දිය යට තිබී මියගිය අයගේ සිරුර ගොඩට ගෙන ආ බවද පැවසීය.
මියගිය පුද්ගලයා සමග පැමිණි අනෙක් තරුණයන් 16 දෙනාද අසීමිත ලෙස මත්පැන් පානය කොට ඉතා අශෝභන ලෙස හැසිරී දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් සමග ද කෑකෝ ගසමින් සිටි බව පොලිසිය කියයි. පසුව දඹුල්ල රෝහල ඉදිරිපිට දී මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට මෙම පිරිස පහර දෙන්නට උත්සාහ කළේ මෙම සිද්ධිය මාධ්‍ය මඟින් හෙළි නොකරන්නැයි ඔවුන් බලපෑම්කරමිනි .
පසුව එම ස්ථානයට පැමිණි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා මෙම පිරිස බස් රථය ද සමඟ සැකපිට අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.
මේ සිද්ධිය පිළිබඳව දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි .