බීමතින් රියපැදවූ හික්කඩුව ප්‍රා.සභා විපක්ෂ නායක දඩ කයි


(සුසිල් ප්‍රියන්ත)

රියදුරු බලපත්‍රයක් ළඟ තබා නොගෙන  බීමතින් රිය පැදවීමේ චෝදනාවන්ට වරද පිළිගත් හික්කඩුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නිමල් චන්දනට රුපියල් 27500ක දඩයක් ගෙවන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් හංස සමරදිවාකර මහතා අද නියම කළේය.

බීමතින් රිය පැදවීමේ චෝදනාවට රුපියල් 25,000ක් ද වලංගු රියදුරු බලත්‍රයක් ළඟ නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට රුපියල් 2500ක දඩයක් ද නියම කෙරෙණි.

අම්බලන්ගොඩ පොලිසිය ඉදිරිපිට ගාලු පාරේ මෝටර් රථයක් පදවාගෙන යමින් සිටියදි අම්බලන්ගොඩ පොලිසිය ඉකුත් 23 වැනි ද සැකකරු අත්අඩංගුවට ගෙන මුදා හැර ඇති අතර අද දින ඔහු බළපිටිය අධිකරණයට ඉදිරිපත් කළේය.

වලංගු රියදුරු බලපත්‍රයක් ළඟ තබා නොගෙන බිමතින් අම්බලන්ගොඩ පොලිසිය ඉදිරිපිට ගාලු පාරේ මෝටර් රථය ධාවනය කරමින් සිටියදී නිමල් චන්දන මහතා අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ පොලිසිය අධිකරණයේ පෙනී සිටිමේ කොන්දේසි යටතේ  පොලිස් ඇප මත එදින මුහු හැරිණි.

මෙම සිද්ධියට අදාල පැමිණිල්ල අම්බලන්ගොඩ අධිකරණයේ කැඳවුණු ලැබූ අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී සිටියේය.

ඔහුට එරෙහි චෝදනාව අධිකරණයේදී කියවා දුන් අවස්ථාවේ ඔහු ඊට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩ නියම කෙරිණි.