බි‍්‍රතාන්‍ය ජාතිකයාගේ මරණයට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට


ඉන්දිකා රාමනායක
 
මුහුණේ  තුවාල සහිතව අභිරහස් ලෙස මාලිගාවත්ත අරලිය උයන විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට කී‍්‍රඩාංගනයේ මියගොස් සිටි චාල්ස්  ජීවින් (37) නැමැති බි‍්‍රතාන්‍ය ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු  අද (03) අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි.
 
මාලිගාවත්තේ ආපන ශාලාවක සවිකර ඇති සී සී ටී වී කැමරාවක්  මෙම  විදේශිකයා  සිද්ධිය වු දින දහවල්  දුම්වැටි මිළ දී ගෙන සැකකරුගේ ති‍්‍රරෝද රථයේ ගමන් ගන්නා දර්ශන සටහන වීම හේතුවෙන් ඒ අනුව පරීක්ෂණ පවත්වා මෙම  සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
 
මෙම විදේශිකයා  තදින්ම මත්කුඩු වලට ඇබ්බැහි ව සිටිනකු බවත් සිද්ධිය වු දින මොහු සැකකරුගේ නිවසට පැමිණ මත්ද්‍රව්‍ය එන්නත් කරගෙන ඔහුගේම නිවසේ නිදාගෙන සිටි බවට සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේ දී හෙළි කරගෙන ඇත.
 
මෙම විදේශිකයා නාසයෙන් සහ කටින් ලේ ගලා විත් තිබු බවත්  එය පහර දීමෙන් ද නැතහොත් ඔහු එන්නත් කරගත් මත්ද්‍රවය විෂ වීමෙන්  ද යන්න මෙතෙක් නිශ්චිත තොරතුරු හෙළි වී නොමැත.
 
මෙම විදේශිකයා පශ්චාත් මරණ පරීක්ෂණ හෙට පැවැත්වීමට නියමිත අතර එහිදී මෙය ඝාතනයක් ද නැතහොත් මත් එන්නත විෂ වීමෙන් සිදු වු මරණයක් ද යන්න හෙළි වනු ඇති බව උසස් පොලිස් නිලධාරියකු කීය.
 
මාලිගාවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.