(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2008 වසරේ සිට 2018 වසර දක්වා කාලයේදී රුපියල් බිලියන 200ක පාඩුවක් ලබා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නොගතහොත් ඉදිරියේදී ආර්ථිකය කඩාවැටීමට හේතු විය හැකි බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය.
එමිරේට්ස් සමාගම වෙතින් 2008 වසරේ දී යළි පවරා ගන්නා විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 8ක ලාභයක් ලබමින් තිබූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මේ වන විට රුපියල් බිලියන 200ක පාඩුවක් ලබා ඇති මෙම සමාගම වෙනුවෙන් 2020 වන විට මෙරට සියලූ ජනතාවට රුපියල් 10,000 බැගින් ගෙවීමට සිදුවනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.
එය මේ තත්ත්වයට පත්කළ කළමනාකාරීත්වය ඊට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් වග කිව යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මිහින් ලංකා සහ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයෙහි සිදුවූ වංචා දුෂණ ගැන සෙවීමට මේ වන විට කොමිසමක් පත්කර ඇතත්, බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් තිබූ උනන්දුව එම කොමිසම සම්බන්ධයෙන් නොමැති බව ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේය.

