බිරිය ඝාතනය කර සැමියා පොලිසියට බාර වෙයි


(රංජිත් කරුණාවීර)
 
වසර දෙකහමාරක් විදේශගතව සිට ලංකාවට පැමිණි බිරිඳට පිහියකින් ඇන ඝාතනය කළ  සැමියා අද (07) උදැසන හසලක පොලිසියට බාරවී  තිබේ.

ඔවුන් දෙදෙනා අතර කලක සිට පවුල් ආරවුලක් තිබු බවට තොරතුරු අනාවරණය වු බව හසලක පොලිසිය  කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අංක 1139, 28 ඇළ කොලොන්ගොඩ, හසලක පදිංචි තලවතුරේ ගෙදර ශ්‍රියානි දයාරත්න  නැමැති වයස 42 වු තිදරු මවකි.

පිහි ප්‍රහාරයට ලක්වූ බිරිඳ එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඇගේ සිරුර නිවස අසළ වූ කුඹුරේ කමතට ඇදගෙන ගොස් පිදුරු ගොඩකට දමා ගිනි තබා ඇති අතර ගින්නෙන් සිරුරට සුළු පිළිස්සුම් සිදුව ඇතැයි පොලීසිය කියයි.
 
බිරිද විදේශගතව සිට මීට සතියකට පමණ පෙර ලංකාවට පැමිණ ඇති අතර, ඇය ඇයගේ හසලක කොලොන්ගොඩ නිවසට නොපැමිණ, ඇය ඇයෙගේ  මවගේ ගම්පොල නිවසට ගොස් ඇත. එහි  සතියක් පමණ රැඳී සිට පෙරේදා (06)  මව සමග කොලොන්ගොඩ නිවසට පැමිණ ඇත.
 
ඊයේ (07)  උදැසන මව නුවර බස් රථයකට නග්ගවා නිවසට පැමිණ ආහාර ගනිමින් සිටියදී සැමියා සමග ආරවුලක් ඇතිව එහිදි සැමියාගේ පිහි ප්‍රහාරයකට ලක්ව කාන්තාව මියගොස් ඇත. වැඩබලන මහියංගන මහේස්ත්‍රාත් එස් ගෝවින්ද මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරමින් අනතුරුව මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා සිරුර මහියංගන මූලික රෝහල වෙත යොමුකරන ලෙසට නියෝග කළේය.
 
පොලිස් භාරයට පත් වූ ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.