බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය ජූනි 28දා සිට


හර්ෂණ තුෂාර සිල්වා
 
ලොව සුප්‍රකට පොත් සල්පිලක් වන ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් අලෙවිසැල දෙවැනි වරටත් ජූනි මස 28 වැනිදා ජුලි මස 8 වැනිදා දක්වා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව අද (6) නිවේදනය කෙරුණි. 

 
කොළඹ පාක් ස්ට්‍රීට් මිව්ස් හි පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව අනාවරණය කෙරුණි.
 
ප්‍රභේද 20,000 වැඩි පොත් මිලියන 1.5කට වැඩි සංඛ්‍යාවක් සියයට 60ත් 80ත් අතර වට්ටමක් යටතේ මිලදී ගැනීමට මෙහිදි අවස්ථාව සැලසෙයි. දින 11ක් මුළුල්ලේ පැය 24ම විවෘතව තැබෙන මෙම පොත් සල්පිල අඛණ්ඩව පැය 255ක් විවෘතය පවතී.
  
ජූනි 28 වැනිදා මහජන ප්‍රදර්ශනය ආරම්භ වුවද ඊට පෙර එනම් ජූනි 27 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 11 දක්වා තෝරාගත් ආරාධිතයන්ට පමණක් පොත් අලෙවියේ පෙර දැක්මකට සහභාගී විය හැකි බවත් එහි අවසර පත් ‘බිග් බෑඞ් වුල්ෆ්’ ෆේස්බුක් පිටුවෙන් ලබාගත හැකි බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.
 
පොත් සල්පිලට සමගාමීව ‘බිග් බෑඩ් වුල්ෆ්’ කණ්ඩායම පසුගිය වසරේ මෙන්ම මේ වසරේදීද සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
 
ඒ අනුව තෝරාගත් පාසල් පුස්තකාල රැසකට පොත් දහසකට වැඩි ප්‍රමාණයක් නොමිලේ ලබාදීම සහ පොත් මිලදී ගැනීමට පැමිණෙන පාඨකයන් ද එකතු කරගනිමින් පොත් පරිත්‍යාග කිරීමේ ‘රෙඩ් රීඩර්හුඩ්’ වැඩසටහන ද මෙවර දියත් කෙරේ.
 
ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්වෙමින් අ.පො.ස  සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් පොත් ප්‍රදර්ශනයට සහභාගී කරවා ගනිමින් ඔවුන්ට අවශ්‍ය පොත් නොමිලේ ලබාගැනීමේ අවස්ථාවක් ද සලසා තිබේ.
 
පොත් මිලදී ගැනීමට පැමිණෙන පිරිස්වලට සමරු ටී ෂර්ට් සහ වෙනත් සමරු අයිතම මිලදී ගැනීමට අවස්ථාව උදා කර ඇතැයි ද ‘බිග් බෑඩ් වුල්ෆ්’ සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.
 
පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන පරිසර හානිය සලකා බලමින් මිලදී පොත් බහාලීම සඳහා ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි බෑගයක් ලබාගැනීමට ද පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා ඇතැයි ‘බිග් බෑඩ් වුල්ෆ්’ සංවිධායක මණ්ඩලය තවදුරටත් සඳහන් කරයි.