බෑග් දාරයේ හැට ලක්ෂයක රන්


රුපියල් ලක්ෂ හැටක්  වටිනා රත්තරන් කූරු හයක්  රැගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි  ඉන්දියානු ජාතිකයෙකුට රුපියල් ලක්ෂ දහයක දඩයක් නියම කළ රේගුව එම රත්තරන් කූරු හය රාජසන්තක කළේය.

මේ පිළිබඳ රේගු පරික්ෂනය  නියෝජ්‍ය  රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් අද  සිදු කළේය.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු මෙම රත්තරන් කූරු හය ඔහුගේ ගමන් මල්ලේ දාර ඇතුලට දමා තිබූ බවයි.

අත් අඩංගුවට ගනු ලැබූ රන් කූරු වල බර කිලෝග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් එකසිය අනූ හතරක් විය.

සැකකරු අද  උදෑසන ජෙට් ගුවන්සේවයට අයත් 9ඩබ්ලිව් 255 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට කටුනායකට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කර  ඔහුව  රේගුවට බාර දී ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යකෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඉන්ද්‍රා උක්වත්ත මහතා ඇතුළු රේගු නිලධාරීහු සිදු කලහ.