බැසිල්ට රට යන්න අවසර



 
ටෝනි කරුණානායක 
 
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගතවීමට  ගම්පහ අංක 2 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (6) අවසර දුන්නේය.          

දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබේ.      

ජනාධිපති නිතිඥ ගාමිණි මාරපන මහතා මහාධිකරණය වෙත මෝසමක් ගොනු කරමින් පළමු විත්තිකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමෙරිකාවට යාමට අවසර ඉල්ලා සිටියේය.              

මීට වසර 2 කට පෙර ඇමෙරිකවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති තම සේවාදායකයාට වෛද්‍ය උපදෙස් අනුව නැවත ඇමෙරිකාවේදී වෛද්‍ය සායනයකට සහභාගී වීමට නියමිතව ඇති බවත් ඊට අදාළ වෛද්‍ය වාර්තා පිටපත් ඉදිරිපත් කරමින් අගෝස්තු 11 වැනි දා සිට ඔක්තෝබර් 1 වැනි දා දක්වා විදේශ ගතවීමේ තහනම තාවකාලිකව අත්හිටුවන ලෙසට ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.