(මනෝප‍්‍රිය ගුණසේකර)
ජනාධිපතිවරණ පනතට පටහැනි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කල බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන මාර්තු 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) නියම කළේය.
මෙම නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර ඇති අභියාචනාධිකරණය මෙම නඩුව මෙම අධිකරණයේ විභාග කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කර ඇතැයි දැනුම් දෙමින් කළ ඉල්ලීමකට අනුව විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේය.
2015 නොවැම්බර් මස 23 වැනිදාත් දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී ඒ වන විට ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියම කොට තිබියදී ජනාධිපතිවරණ පණතේ ප‍්‍රතිපාදනයන්ට පටහැනි වන ආකාරයට එම ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුලත් කොට දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් අළුත් අවුරුදු ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කොට බේදාහැරීම මඟින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කලැයි විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා සහ ජයන්ති වීරසිංහ යන මහත්වරුන් පෙනී සිටියහ.