බැසිල්ගේ නඩුව කල්යයි


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර උසාවියේ පවතින නඩුව ලබන වසරේ මාර්තු 18 වැනිදා දක්වා කල් තැබීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද  (19) නියෝග කළේය.

සැකකාර බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරණ සමයේ මෙම ඉඩම් ගනුදෙනුව සිදුව තිබේ.

ඔහුගේ මස්සිනා වන පශූ වෛද්‍යතිස්ස ගලප්පත්ති හා නෑනා වන අයෝමි පුණ්‍යකාන්ති ගලප්පත්ති යන දෙදෙනාගේ නාරාහේන්පිට පෞද්ගලික බැංකුවක වු බද්ධ ගිණුමට සිංගප්පූරුවේ ඊගල් ගෲප් ඇසෝසියේටඩ් ආයතනයෙන් හා හොංකොංහී වර්ඩ් ඩයමන් ආයතනයෙන් ලැබී තිබූ මුදල්වලින් ඔවුන් විසින් එම ඉඩම මිලට ගෙන ඇත.

ඒ ඉඩමේ හිමිකරු වූ ජර්මන් ජාතික හර්බට් කෙලර් යන අයට මුදල් ගෙවීමෙනි.

ඒ සඳහා වැය කළ මුදල් උපයා ගත් ආකාරය ප්‍රශ්න සහගතවීම නිසා මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම නඩුව පවරා ඇත.

වැඩිදුර නඩු විභාගය ලබන වසරේ මාර්තු මස 18 වැනි දිනට කල් තැබිණි.