බැසිල්ගේ ජීඅයි යකඩ බට නඩුව ජුනියේ විභාගයට



 
 
(මනොප‍්‍රිය ගුණසේකර)
 
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන ජුනි 4 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (25) නියම කළේය.

විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛණ ආදිය පැමිණිල්ල විසින් ලබා දීමෙන් පසුව විනිසුරුවරයා නඩුව විභාග කිරීම සඳහා මෙලෙස දින නියම කළේය.

2014 ඔක්තොම්බර් 31 වැනිදාත් දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප‍්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78 ක් වටිනා ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් 36,509,127.78 ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛණ ආදිය පැමිණිල්ල විසින් ලබා දී ඇති බව දැනුම් දීමෙන් පසුව අදාළ ලේඛණවල අඩුපාඩුවක් ඇත්නම්  ලබන මස 23 වැනිදාට පෙර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළ විනිසුරුවරයා නඩුව ලබන මස 23 වැනි දා කැඳවීමටද නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසාද් නවාවී මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා, ජයන්ත වීරසිංහ සහ ශ‍්‍රවින්ද්‍ර ප‍්‍රනාන්දු යන මහත්වරුන් සමඟ නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.