බැසිල් ඇතුළු සිව්දෙනාගේ දිවිනැඟුම නඩුව කල් යයි


(මනෝප‍්‍රිය ගුණසේකර)

 

දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු මුදලින් රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (15) නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ රජින්ද්‍ර ජයරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කළේය.

පසුගිය ජනාධිපතිවරයට ආසන්න සමය වන 2015 නොවැම්බර් මාසයේ දී දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු මුදලින් රුපියල් මිලියන 29.91ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සහ රජයේ මුදල් අවභාවිතා කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

හිටපු ආර්ථික සංවර්ධන  අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, ආර්ථික සංවර්ධන  අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධක්‍ෂක ජනරාල් බන්ධුල තිලකසිරි යන මහත්වරුන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ රජින්ද්‍ර ජයරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියොජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කරන නඩුවකට පෙනී සිටින හෙයින් මෙම නඩුවේ විභාගය කල් තබන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුලි මස 18 දක්වා කල් තැබීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නියොජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සමඟ රජයේ නීතීඥ රජින්ද්‍ර ජයරත්න මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, නීතීඥ සෙනරත් ජයසුන්දර, නීතීඥ නවීන් මාරපන යන මහත්වරුන් ඇතුළු නීතීඥ කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.