බැඳුම්කරේ වාර්තාව හමස් පෙට්ටියට යවන්න එපා - අනුර කුමාර


(මුදිතා දයානන්ද)       

බැඳුම්කර කොමිසමේ වාර්තාවත් සුපුරුදු පරිදි හමස් පෙට්ටියට නොයවා දුෂිතයන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමර්ග ගැනීම කඩිනම් කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (1) පැවසීය.

කෝප් කමිටුව රාජ්‍ය ආයතන 17ක සිදුවු වංචා, දුෂණ හා අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඒ පිළිබඳ වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මේ දක්වා ඒ වාර්තා වලට අනුව නීතිමය ක‍්‍රියමාර්ග ගන්නවා තියා ඒවා පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කර නැහැ. ඒ නිසා අපිට සැකයක් තිබෙනවා මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවු වංචාව පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවට අනුවත් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා තත්වයකට උදාවෙයිද කියලා.

අපි ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා මේ වාර්තාවත් අනෙක් වාර්තා මෙන්ම හමස් පෙට්ටියට දමා පුරුදු පරිදි වැඩකරගෙන යන්නේ නැතිව වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස. එසේම මේ වාර්තා ජනතාවට කියවිය හැකි පරිදි ඉදිරිපත් කරන ලෙසද අපි ඉල්ලා සිටිනවා යැයි දිසානායක මහතා කීවේය.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මෙසේද පැවසීය.