බැඳුම්කරය ගැන තීරණය 22 දා


(විනීතා එම් ගමගේ)

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාව පිළිබඳව ගන්නා ඉදිරි පියවර ලබන 22 වැනිදා රැස්වෙන පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කරන බව කතානායක කරු ජයසූරිය මහතා ප‍්‍රකාශ කරයි.

පක්ෂ නායක රැස්වීම 22 උදේ 9.30 ට පැවැත්වෙන අතර 23 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන බවත් මෙම වාර්තා දෙක එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කථානායකවරයා පවසයි.

බැඳුම්කර ගනුදෙනුවට අදාළ වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අන්තර් ජාලයට එක්කරනු ලැබූ බව දන්වා ඇතැයි ද මන්ත‍්‍රීවරුන්ගේ විද්‍යුත් ලිපිනයන්ටද එම වාර්තාව යවනු ලබන බවත් ජයසූරිය මහතා පැවැසීය. 

කතානායකවරයා මේ බව පැවසුවේ එකී වාර්තා පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවති මාධ්‍ය හමුවක දීය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදෙන ලද වාර්තා පිටපත් ද මාධ්‍ය හමුව වෙත ගෙන එනු ලැබ තිබිණි.

‘‘බැඳුම්කර ගනුදෙනුවට අදාළ වාර්තාව සහ බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාව පිළිබඳව විනිවිද භාවයකින් කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ වගකීමයි. තොරතුරු දැනගැනීමේ පනත ගෙන එන්නට මුල් වුනේ පාර්ලිමේන්තුවයි. ඒ නිසයි මේ ගැන දැනුම් දෙන්න මාධ්‍ය කැඳෙව්වේ.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වාර්තාවේ පිටපත් 26 පමණ ලැබිල තියෙනවා. ඒ ඉංග‍්‍රිසි භාෂාවෙන් පමණයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව භාෂා තුනෙන්ම වාර්තා  තිබිය යුතුයි. මේ නිසා ජනාධිපති ලේකම්තුමාට කතා කර පරිවර්තන ඉල්ලූවා. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට මේ කටයුත්ත පැවරීමට තිරණය වී තිබෙනවා. පරිවර්තන ඉක්මනින්ම ලැබේවි.

පසුගිය සතියේ පක්ෂනායක රැස්වීමක්  තිබුණා. ඊට පෙරත් මම ජනාධිපතිතුමාට කතා කරල මේ වාර්තා ඉල්ලූවා. එවිට එතුමා කිව්වෙත් ලිපියක් මඟින් දැනුම් දුන්නෙත් 17 වැනිදා එම වාර්තා එවන බවයි. ඒ අනුව පොරොන්දු වූ පරිදි වාර්තා ලැබී තිබෙනවා. බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවේ අවසන් වාර්තාව ද ලැබිල තිබෙනවා. එය සිංහල භාෂාවෙන් පමණයි.

මේ වාර්තා පිටපත් පිළිගත් අයට බෙදා හරින්න සුදානම්. බරපතල වංචා දූෂණ පිළිබඳ කොමිසමේ වාර්තා බෙදාහරින්න බැහැ.ඇත්තේ එක පිටපතක් නිසා. මුද්‍රණාලයාධිපති කැඳවලා තිබෙනවා. මුද්‍රණාලය හරහා තවත් පිටපත් මුද්‍රණය කරල මන්ත‍්‍රීවරුන්ට හා මාධ්‍යයට බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් පිටපත් 300 විතර මුද්‍රණය කරාවි.

මේ කටයුතුවලදී පාර්ලිමේන්තුව සමඟ හෝ ජනාධිපතිවරයා සමඟ ගැටුම් ඇති කර ගන්න මට කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ඒ වගේම අපට කිසිම දෙයක් හංගන්න උවමනාවක් නැහැ.

වාර්තාවේ නම් සඳහන් සියලූ දෙනාට පිටපත් යැවිය යුතුයි. තොරතුරු දැන ගැනීමේ පනත අනුව පිටපත් ඉල්ලූ අයටත් යවා ඇති. මේ වනවිට පක්ෂවලින් පිටපත් ඉල්ලල තියෙනවා. නමුත් දෙන්න පිටපත් නැහැ. ලැබුණු විට දෙනවා. කෙසේ වෙතත් මමත් තවම මේ වාර්තාව කියෙව්වේ නැහැ. අත තිබ්බා විතරයි.’’ යැයි ද ජයසූරිය මහතා පැවැසීය.