බැඳුම්කර වාර්තාව විවාදයට ගන්න දින තීරණයක් නෑ


 

(සුජිත් හේවාජුලිගේ)

බැඳුම්කර කොමිෂන් සභාවේ වාර්තාව හා බරපතළ දුෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා 34ක් අද (23)  පාර්ලිමේන්තුවේදී සභාගත කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට ඊයේ (22) දැනුම් දුන්නේය.

මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වෙන දින වකවානු පිළිබඳ පක්ෂ නායක රැස්වීමේ දීඊයේ සාකච්ඡා කෙරුණ ද අවසන් තීරණයක් ගෙන නොතිබිණ. හෙට (24) නැවතත් පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට එහිදී වැඩිදුරටත් තීරණය කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ දී ඊයේ (22) පෙරවරුවේ මෙම පක්ෂ නායක රැ ස්වීම පැවැත්විණි.

මේ වාර්තාව පිළිබඳව ලබන පෙබරවාරි 10 වැනිදාට පෙර දින දෙකක විවාදයක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. එහෙත් ඊට සාර්ථක ප‍්‍රතිචාර ලැබී නැතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි.

විවාදය පවත්වනවා නම් ඊට සුදුසු දින හැටියට පෙබරවාරි 20 හා 21 යොදා ගත හැකි වෙතැයි එහිදී අදහස් පළ කෙරූ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය.

බැඳුම්කර වාර්තාවේ පවතින්නේ යැයි කියන අඩුපාඩු පිළිබඳව ද පක්ෂ නායකයන්කතානායකවරයාගේ අවධානයට යොමුකර ඇත. එහිදී කතානායකවරයා පවසා ඇත්තේ වාර්තාවේ තවත් ඇමුණුම් තිබේ නම් ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙන බවයි.

මෙම රැස්වීම ආරම්භවීමට ප‍්‍රථම බැඳුම්කර කොමිසමේ වාර්තාව හා බරපතළ දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපත් සියලූ පක්ෂ නායකයන්ට බෙදා දී ඇත.

පිටු විශාල ප‍්‍රමාණයක් සහිත ලොකු වාර්තා හෙයින් මේවා ඊයේ පක්ෂ නායක රැස්වීමට සේවකයන් රැගෙනවිත් තිබුණේ විල්බැරෝවල පටවාගෙනය.

මේ අතර බැඳුම්කර විවාදය පිළිබඳ ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් අද (23) පවත්වන බව එහි නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.