(ඩයනා උදයංගනී)
බැඳුම්කර සහ බරපතල වංචා හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවන් හි වාර්තා පිළිබඳ විවාදය පැවැත්වෙන දිනය පිළිබඳ තීන්දුවක් අද (30) පැවති පක්‍ෂ නායක රැස්වීමේදී ද ගැනීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප ලේකම්, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද පැවති පක්‍ෂ නායක රැස්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සහ එහි කොමසාරිස්වරුන් දෙදෙනෙකු ද සහභාගී වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම විවාදය පළාත් සභා මැතිවරණයට බාධාවක් නොවන අයුරින් ලබන මස 5 සහ 6 දිනයන්හි පවත්වන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර ඇතැයි කී ඇමැතිවරයා එම ඉල්ලීමත්, විවාදය 10 වැනි දා ට පෙර පවත්වන ලෙස ජනාධිපතිවරයා කර ඇති අභියෝගය ඇතුළු සියලූ කරුණු සළකා බලා අගමැතිවරයා සමඟ සාකච්ඡා කර එයට දිනයක් තීරණය කරගන්නා බව කතානායකවරයා මෙහිදී පැවසී යැයි ද කියා සිටියේය.
ඒ අනුව විවාදය පැවැත්වෙන දිනය ගැන හෙට (31) දිනයේදී පමණ තීන්දුවක් ලැබෙනු ඇතැයි ද ඔහු කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අමාත්‍ය මහින්ද සමරසිංහ, එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් මන්ත‍්‍රී රවී කරුණානායක, ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් එහි පාර්ලිමේන්තු කණ්ඩායම් නායක, මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන, ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී විජිත හේරත් සහ දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. සුමන්දිරන් යන මහත්වරුන් මෙයට සහභාගී වුහ.

