බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙන්න


(විනීතා එම් ගමගේ)

බැඳුම්කර ගනුදෙනුවේදී සේවක අර්ථසාධක අරමුදලට සිදුකර ඇති හානිය වෘත්තීය සමිති  ලෙස හෙලා දැකිය යුතු බවට යෝජනාවක් ශ‍්‍රී ලංකා නාවික සේවකයන්ගේ වෘත්තීය සමිතියේ නායක පාලිත අතුකෝරල මහතා විසින් ජාතික කම්කරු උපදේශන සභාව වෙත ඉදිරිපත්  කරනු ලැබ ඇතැයි කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
 
කම්කරු ,වෘත්තීය සමිති සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිවි.ඞී .ජේ සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික කම්කරු උපදේශන සභාව ඉකුත් 13 දා රැස්වූ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබී යැයි කම්කරු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට අද (15) පෙරවරුවේ පැවැසීය.

එම යෝජනාවට සියලූම වෘත්තීය සමිති නායකයින් පක්ෂව අදහස් දක්වමින් මෙම බරපතල වංචාව සිදු කළ අයට වහාම දඩුවම් ලබා දිය යුතු බව ප‍්‍රකාශ කළේ යැයි ද එම නිලධාරියා කීය.

එසේම සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන සිදුකිරීමේදී කම්කරු අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ හෝ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ පාර්ශවයේ නියෝජනයක් නොමැති වීම මෙවැනි වංචාවන්ට බලපා ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී අවධාරණය කළහ.

මහ බැංකු බැඳුම්කර කොමිසමේ දී මේ වනවිට හෙළිවන කරුණු අනුව අර්ථසාධක අරමුදල යොදාගනිමින් සිදුකර ඇති මහා පරිමාණ සැලසුම් සහගත දූෂණ වංචා පිළිකුල් සහගත බව කම්කරු අමාත්‍යවරයා එහි දී පැවැසී යැයි ද හෙතෙම කීය.

බැඳුම්කර ගනුදෙනුවේ දී අදාළ සමාගමට විශාල ලාභයක් සහ අර්ථ සාධක අරමුදලට පාඩුවක් සිදුව ඇති බව දැන් මුළු රටම දන්නා කරුණක් බවත්, අර්ථ සාධක අරමුදල් කළමනාකරණය කරනු ලබන රජයේ ඇතැම් නිලධාරීන්ට මහා පරිමාණයෙන් අල්ලස් සහ සංතෝෂම් ලබා දීම ඉතාමත් හිරිකිත පිළිකුල් සහගත ක‍්‍රියාවක් බවත් අමාත්‍යවරයා එහි දී පැවැසූ බව ඔහු පැවසීය.
වැඩකරන ජනතාව සතු අර්ථ සාධක අරමුදලට පාඩුවන අයුරින්, දූෂිතව කටයුතු කළ සියලූ දෙනාට විරුද්ධව කඩිනමින් නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවට ජාතික කම්කරු උපදේශන සභාවේ කෙරුණු යෝජනාව කඩිනමින් ජනාධිපතිතුමා වෙත ලබා දෙන බවට එහි දී පොරොන්දුවී යැයි ද කීය.

එසේම නව දේශීය අදායම් පනතින් සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජනයන්හී ලාභයෙන් රජයට ලබා ගන්නා සියයට 10 ක බද්ද සියයට 14 දක්වා වැඩි කර ඇති බවත් එය විසිහය ලක්ෂයක් පමණ වන අර්ථ සාධක හිමිකරුවන්ට බලපාන බවත් වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී අදහස් දක්වමින් ප‍්‍රකාශ කළ අවස්ථාවේ ඒ සම්බන්ධව වත්මන් මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇති බව අමාත්‍යවරයා පැවැසූ බව ද හෙතෙම ප්‍රකාශ කළේය.