බැඳුම්කර වංචා ගැන වාර්තාවේ විගණන මේ වසර නිමවීමට පෙර අවසන් කරනවා


හර්ෂණ තුෂාර සිල්වා

බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව කෙරෙන වෝහාරික විගණන මේ වසර නිමවීමට පෙර අවසන් කළ හැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (2) පැවැසීය.

වෝහාරික විගණන කිරීමේ කිසිදු ප්‍රමාදයක් සිදු වී නැතැයි ද එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් යැයි ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

නව වසරේ පළමු මාධ්‍ය හමුව පවත්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම කරුණු කීවේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීවේය.

“වෝහාරික විගණන කිරීමේදී කිසිදු ප්‍රමාදයක් වී නැහැ. මෙය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. පොඩි දෙයක් වැරැදුණොත් කෙනෙක්ට අධිකරණයට යන්න පුළුවන්. එහෙම වුණොත් එම ක්‍රියාවලිය නැවත ආරම්භ කරන්න වෙනවා. 2017 වසරේ දෙසැම්බර් මාසයේදී තමයි මේ වාර්තාව ආවේ. අපි පසුගිය වසරේ, 2018 ජනවාරි වෙද්දි වෝහාරික විගණන කටයුතු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත්තා.

අපි කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ බලන්න ඕනේ. අපි මොනවද කරන්න ඕනේ බලන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය පරිසරය සකසන්න ඕනේ. නීතිපතිවරයාගේ උපදෙස් සහ සහයෝගය ලබාගන්න ඕනේ. අපි එම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මේ ආකාරයේ වෝහාරික විගණන කළ හැකි විශේෂඥයන්ගේ සහයෝගය ගන්න ඕනේ. ඒ සඳහා ගෝලීය පිළිවෙත්, ගෝලීයව අනුගමනය කරන ප්‍රමිත හා සම්මත තිබෙනවා. එවැනි විශේෂඥයන් ඉන්නවා. ඔවුන්ගේ සහයෝගය ගන්න ඕනේ. විශේෂඥ දැනුම ගන්න ඕනේ. මේ සියල්ලම ඉතා පරෙස්සමෙන් කරන්න ඕනේ. හදිසියෙන් කරන්න බැහැ.
කැබිනට් මණ්ඩලය උපදේශන හා ප්‍රසම්පාදන කමිටුවක් පත් කළා. මොකක්හරි වැරැද්දක් වුණොත් සම්පූර්ණ ක්‍රියාවලියම ආයේ පටන් ගන්න වෙනවා. භණ්ඩාගාරයේ විශේෂඥයන් තුන් දෙනෙක් අප හා සම්බන්ධ වී තිබෙනවා. ඔවුන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂඥයන්. අපට ඔවුන්ගේ සහාය ලැබෙනවා.

වෝහාරික විගණන හයක් කරන්න තිබෙනවා. ඒවායෙන් බැඳුම්කර මෙන්ම සේවක අර්ථසාධක අරමුදල යනාදි බොහෝ දේ ආවාරණය වෙනවා. පෙබරවාරි මාසය වෙද්දි වෝහාරික ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන්. අපි දැන් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසා තිබෙනවා. වෝහාරික විගණන කිහිපයක් මාස දෙක තුනකින් අවසන් කරන්න පුළුවන්. ජාත්‍යන්තර විශේෂඥයන් මීට සම්බන්ධ වෙනවා. මෙයට කාලයක් ගත වෙනවා.

අපි මේ ක්‍රියාවලියේ ප්‍රගතිය දන්වා ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයාට වාර්තාවක් යැව්වා.

බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් අපි ගත යුතු ක්‍රියාමාර්ග එම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් හඳුනාගෙන තිබෙනවා. ගෝලීය පිළිවෙත්, ප්‍රමිත හා සම්මත අනුගමනය කරන පිරිස් තමයි මෙය කළ යුතුයි. ඒ බව වාර්තාවේ ද සඳහන් කර තිබෙනවා. අපි මෙය කරන්නේ නැහැ. වෝහාරික විගණන හය විවිධ කණ්ඩායම් මගින් කෙරෙනවා. ඒ සෑම කණ්ඩායකමට විදෙස් විශේෂඥයෙක් සහභාගී වෙනවා” යනුවෙන් ද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ කීය.

“ජනාධිපතිවරයා පත් කළ කොමිෂන් සභාව බැලුවේ 2015 වසර වනතෙක් විතරයි. එහෙත් ඊට පෙරත් බැඳුම්කර වංචා සිදු ව ඇති බව එම කොමිෂන් සභාවේ අදහස වුණා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වෝහාරික විගණන කළ යුතු යැයි කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.

මහ බැංකුව සම්බන්ධ නිසා මහ බැංකුවේ කිසිවෙක් මේ වෝහාරික විගණනවලට සම්බන්ධ වෙන්නේ නැහැ. අපි කරන්නේ පහසුකම් සැපයීම විතරයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමිව් මේ ක්‍රියාවලියේ මූලිකත්වය ගන්නේ නීතිපතිවරයායි. විදෙස් විශේෂඥයන් ඊට සම්බන්ධ වෙනවා.

වෝහාරික විගණනවලින් අනතුරුව නීති ක්‍රියාමාර්ග ගන්නවද නැද්ද තීරණය කරන්නේ නීතිපතිවරයා. වෝහාරික විගණන කරන්නේ අපෙන් වැරැද්දක් සිදුවෙලා තියෙනවද බලන්න. නීති පියවර ගැනීමට අවශ්‍ය පියවර ගන්න වෝහාරික විගණන අවශ්‍ය බව දැන් තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ.

නීතිපතිවරයා උනන්දු වී තිබෙන්නේ දැන්. මොකද ඔවුන්ටත් දැන් මේ තොරතුරු අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිවරයා අපෙන් විමසුවේ. මහ බැංකුවෙන් ලබාදිය යුතු බොහෝ දේ අපි ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ අපිත් සාකච්ඡාවකට සම්බන්ධ වුණා.

ජනාධිපතිවරයාට අපි මේ සම්බන්ධයෙන් විස්තර කළා. එහිදි කිසිදු ඉලක්කමක් සඳහන් කළේ නැහැ. මොකද විගණන කරන්නේ නැතිව ගණනක් සිදුවෙච්ච පාඩුවක් හෝ වැරැද්දක් සිදුවෙලා තියෙනවද කියලා කියන්න බැහැ. ඒ නිසා කොච්චර පාඩුවක් වුණාද කියලා වෝහාරික විගණන නොකර කියන්න බැහැ. මහ බැංකුවේ කිසිවකුත් එවැනි ගණනක්, ඉලක්කමක් කිව්වේ නැහැ.

ජනාධිපතිවරයාත් එවැන්නක් ප්‍රකාශ කළේ නැහැ” යැයි හෙතෙම කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන්, සහකාර අධිපතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

ඡායාරූප - ළහිරු හර්ෂණ