මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදු වු බව කියන මහා පරිමාණ බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුලු සිව්දෙනෙකුගෙන් කටඋත්තර සටහන් කරගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (18) උපදෙස් ලබා දුන්නේය.
හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු අගමැතිවරයාට අමතරව මහා පරිමාණ බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර සටහන් කරගන්නා ලෙස නීතීපතිවරයා විසින් මෙලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙන ලද්දේ හිටපු අගමැති උපදේශක එස්. පාස්කරලිංගම් හා මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරි වසන්ත කුමාර යන මහත්වරුන්ගෙන්ය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 පෙබරවාරී 27 වැනිදා සිට භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේ සිද්ධීන් හතරකදී රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කරන ලදැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව සිදුකරන විමර්ශන වලට අදාළව නීතීපතිවරයා මෙලෙස උපදෙස් දී ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පැවැත්වු භාණ්ඩාගාර බැදුම්කර නිකුතු වලදී මහා පරීමාණ වංචාවක් සිදු කරන ලදැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපතිවරයා සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සභාපතිවරයා එහි අධ්‍යක්‍ෂවරයා ඇතුලු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ මෙන්ම ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ අධි චෝදනා 23ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා මේ වන විටත් ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

